Ultimate magazine theme for WordPress.

ඉන්දු – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අවලංගු කෙරේ

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හී දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට පසුගියදා කොවිඩ් 19 ආසාදනය වීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඉන්දීය ටෙස්ට් සංචිතයට සම්බන්ධ සෙසු සියලු සාමාජිකයින්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව මේ වනවිට තහවුරු වී ඇති පසුබිමකයි අවසන් ටෙස්ට් තරගය අවලංගු කිරීමට තීරණය කර ඇත්තේ.

නමුත්, ඉන්දීය සංචිතය තුළ තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වනු ඇතැයි පවතින බිය හේතුවෙන් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනුණේ පසුගිය බදාදා දිනයේ දී යි.

ඒ හේතුවෙන් ඊයේ(9) සිදු කිරීමට නියමිතව තිබූ පුහුණුවීම් කටයුතු ද අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළා.

ඊයේ පෙරවරුවේ දී සියලු සාමාජිකයින් යළි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරුණු අතර, එහිදී සෙසු සියලු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගැණුනා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට ද පසුගියදා නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

දෙරට අතර පැවැති ටෙස්ට් තරග 4න් තරග 2ක් ඉන්දියාව ජය ගත් අතර, එක් තරගයක් එංගලන්තය ජය ගත්තා.

Leave a comment