Ultimate magazine theme for WordPress.

ඉන්දීය සුපිරි ක්‍රීඩකයා ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල ද අහිමි වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පසුගිය 19 වැනිදා පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්නා ඉන්දීය සංචිතයට ආදේශ කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

එම ආදේශ කිරීමට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදීයි පාන්ඩ්යා ආබාධයකට මුහුණ දුන්නේ.

එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය සිදු වුණා.

ආබාධය හේතුවෙන් පසුගිය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර, පසුගිය 29 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ඔහුව ක්‍රීඩා කරවීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත්, පාන්ඩ්යාට එම තරගය ද අහිමි වුණා.

අනතුරුව පසුගිය දෙවැනිදා ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ද ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වූයේ නැහැ.