Ultimate magazine theme for WordPress.

ඉන්දියාවෙන් අයි.සී.සීයට අභියාචනයක්

තෙවැනි දිනයේ දිවා ආහාරයටත් පෙර අවසන් වූ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් ඉන්දෝර් ක්‍රීඩාංගනයේ තණතීරුව “දුර්වල” තණතීරුවක් ලෙස තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් අයි.සී.සී කමිටුවක් විසින් මෙම අභියාචනය සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බැලීමට නියමිතයි.

ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව ලබා දුන් “දුර්වල” තණතීරුවක් යන තීන්දුව නැවත සලකා බලා දින 14 තුළ අදාළ කමිටුව විසින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

තරගයේ දී දැවී ගිය කඩුලු 31 න් කඩුලු 26 ක් ම දග පන්දු යවන්නන් විසින් දවා ගත් අතර, වේග පන්දු යවන්නන් විසින් දවා ගත්තේ කඩුලු 4 ක් පමණයි. එක් කඩුල්ලක් දුවද්දී දැවීයාමක් ලෙස දැවී ගියා.

තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් විසින් සිය වාර්තාව තුළින් අදාළ තණතීරුව “දුර්වල” (poor) තණතීරුවක් ලෙස නම් කර ඇති බැවින් ඉන්දෝර් හි Holkar ක්‍රීඩාංගනයට අවගුණ ලකුණු (demerit points) 3 ක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කළේ.

තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක ද දින 3ක් තුළ අවසන් වූ අතර, එම තරග සදහා යොදා ගත් තණතීරු “සාමාන්‍ය” (average) තණතීරු ලෙස තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් තීරණය කර තිබුණා.

තරගයකට යොදා ගන්නා තණතීරුව very good, good, average, below average, poor හා unfit ලෙස වර්ගීකරණය කිරීමට තරග තීරකවරුන්ට අවස්ථාව පවතිනවා.

තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් (below average) ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් අවගුණ ලකුණක් පනවනු ලබන අතර, තණතීරුවක් “දුර්වල” (poor) යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් අවගුණ ලකුණු 3ක් ද, “නුසුදුසු” (unfit) යැයි තීරණය කළහොත් අවගුණ ලකුණු 5ක් ද පනවනු ලබනවා.

වසර 5ක කාලයක් සදහා මෙම අවගුණ ලකුණු වලංගු වනවා. අවගුණ ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මාස 12කට අත්හිටුවනු ලබනවා.

Leave a comment