Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට විතරක් අවසන් පූර්ව වටයට අයි.සී.සීයෙන් අමුතු නීතියක් දැම්මේ ඇයි?

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවදානය කෙමෙන් කෙමෙන් යොමු වෙමින් පවතිනවා.

තරගාවලිය ආරම්භ වීමට මේ වන විට තවත් දින 17 ක් පමණක් ඉතිරිව ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය යටතේ මෙවර පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම ද විශේෂත්වයක්.

තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් ඉතිරිව ඇති පසුබිමක තරගාවලියේ ඇතැම් තරග කොන්දේසි මේ වන විට යම් යම් පාර්ශවල විවේචනයට ලක්ව ඇති බවක් ද දක්නට ලැබෙනවා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සදහා හා අවසන් මහා තරගය සදහා අතිරේක දින වෙන් කර ඇති බවට මීට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබූ නමුත්, මේ වන විට දෙවැනි අවසන් පුර්ව තරගයෙන් අතිරේක දිනය ඉවත් කිරීමටත්, ඒ වෙනුවට තරගය පැවැත්වෙන දිනයේ දී ම තරගය කෙසේ හෝ අවසන් කර ගැනීම සදහා එම තරගය සදහා තවත් අමතර කාලයක් වෙන් කර දීමටත් අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

ඒ පිළිබද අප ඔබට ඊයේ දිනයේ දී සියලු තොරතුරු වාර්තා කළා. Read : T20 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයට කුඩඅම්මාගේ සැලකිලි

ජූනි 27 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනයට (ජූනි 28) කල් ගියහොත්, එම තරගය අවසන් වී පැය 24 කටත් අඩු කාලයකදී ජයග්‍රාහී කණ්ඩායමට අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට සිදු වීම මෙන්ම, එම කණ්ඩායමට අදාළ කාලයේ දී ගයානා සිට බාර්බඩෝස් දක්වා ගමන් කිරීමට ද සිදු වීම පදනම් කර ගනිමින් මෙලෙස අතිරේක දිනය ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාවට පමණක් විශේෂ නීතියක්

කෙසේ වෙතත්, විශේෂත්වය වන්නේ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගතහොත් එම දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව වෙනුවෙන් වෙන් කර තැබීමට මේ වන විටත් අයි.සී.සීය තීරණය කර තිබීමයි.

මෙය ඉන්දියාවට පමණක් බලපාන අයුරින් සකස් කර ඇති නීතියක් වන අතර, සෙසු කිසිදු කණ්ඩායමකට එවැනි විශේෂ නීතියක් අයි.සී.සීය සකස් කර නැහැ.

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

අයි.සී.සී තරග කොන්දේසි අනුව පළමු කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා රට දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගන්නා රට සමග ට්‍රිනිඩෑඩ්හි පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී තරග වැදීමට නියමිතව තිබෙනවා.

ගයානා හීදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්නේ සුපිරි 8 වටයේ දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත් රට හා පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් රටයි. අයි.සී.සී තරග කොන්දේසි තුළ මෙය සටහන් කර ඇත්තේ පහත සදහන් ආකරයෙනුයි.

“At the completion of the Second Round, the top two teams in each Group will progress to the semi-finals.
– The team placed first in Group 1 will play the team placed second in Group 2 in Semi-Final 1 in Trinidad.
– The team placed first in Group 2 will play the team placed second in Group 1 in Semi-Final 2 in Guyana”

කෙසේ වෙතත්, ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් මෙය යම් වෙනකට ලක් වනවා. එහිදී ඉන්දියාව සුපිරි 8 වටයේ දී සිය කාණ්ඩයේ කුමන ස්ථානයක් දිනා ගත්ත ද (1 හෝ 2), ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ අනිවාර්යයෙන්ම දෙවැනි අවසන් පූර්ව තරගය සදහායි.

මෙය තරගාවලියට අදාළ අයි.සී.සී තරග කොන්දේසි තුළට ඇතුළත් කිරීමට අයි.සී.සීය කටයුතු කර ඇත්තේ පහත සදහන් ආකාරයෙනුයි.

ඉන්දියාවට විතරක් අමුතු නීතයක් ඇයි?

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජූනි 26 වැනිදා කොදෙව් වේලාවෙන් රාත්‍රී 8:30 ට ට්‍රිනිඩෑඩ්හී දී ද, දෙවැනි අවසන් පූර්ව තරගය ජූනි 27 වැනිදා එරට වේලාවෙන් පෙරවරු 10:30 ට ගයානා හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගය ජූනි 29 වැනිදා පැවැත්වෙන්නේ බාර්බඩෝස් හී දී යි.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාවේ වේලාවෙන් (හා ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසුදින පෙරවරු 6:00 ටයි. දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාවේ වේලාවෙන් රාත්‍රී 8:00 ආරම්භ වනවා.

ඒ අනුව රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ඉන්දීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සුදුසුම විකාශන කාලය රාත්‍රී කාලය වන බැවින් මෙලෙස දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව වෙනුවෙන්ම වෙන් කිරීමට අයි.සී.සීය කටයුතු කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.