Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් වාර්තාගත හඹා යාමක්

Match Report

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් වාර්තාගත හඹා යාමක් සමග කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(9) සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළ ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත්තා.

ඒ, සිව්වැනි කඩුල්ලට ඩේවිඩ් මිලර් හා රසී වැන් ඩර් ඩුසේන් පන්දු 64කින් ගොඩ නැගූ ලකුණු 131ක නොබිදුණු සබදතාවයෙන් ශක්තිමත් වෙමින්.

මිලර් පන්දු 31කින් නොදැවී ලකුණු 64ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමගින්.

වැන් ඩර් ඩුසේන් පන්දු 46කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 75ක්. හයේ පහර 5කින් හා හතරේ පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 22(18)ක් ද, ටෙම්බා බවුමා ලකුණු 10(8)ක් ද, ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 29(13)ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, හර්ෂාල් පටෙල් හා අක්සාර් පටෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙය දකුණු අප්‍රිකා කණ්ඩායම 20යි 20 ජාත්‍යන්තර තරග බිමේ දී හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 211ක් රැස් කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ඉෂාන් කිෂන් පන්දු 48කින් ලකුණු 76ක් ලබා ගත්තා. ෂ්රෙයස් අයියර් ලකුණු 36(27)ක් ලබා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා පන්දු 12කින් නොදැවී වේගවත් ලකුණු 31 රැස් කිරීමට සමත් වුණා.

නායක රිෂාබ් පාන්ට් පන්දු 16කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 29ක්.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ්, අන්රිච් නොකියා, වේන් පාර්නෙල් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.