Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානය ජයග්‍රහනයට ලකුණු 617 ක් පිටුපසින්

Day 3 Report

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(16) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු සත්කාරක බංග්ලාදේශයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 662 ක දැවැන්ත ඉල්කයක් හඹා යමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 45 ක්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු නොලබා දැවී ගිය අතර, අබ්දුල් මලික් ලකුණු 5යි. හශ්මටුල්ලාහ් ශහීඩී ලකුණු 13 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රහ්මට් ශාහ් ලකුණු 10 ක් ද, නසීර් ජමාල් ලකුණු 5 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා ටස්කින් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා. ඒ අනුව ඇෆ්ඝනිස්තානය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 617 ක් ලබා ගත යුතුයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 425 ක් ලබා සිටියදීයි.

නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 124 ක් රැස් කළ අතර, මොමිනුල් හක් නොදැවී ලකුණු 121 ක් ලබා ගත්තා. සාකීර් හසාන් ලකුණු 71 ක් ද, ලිටොන් දාස් නොදැවී ලකුණු 66 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සහීර් ඛාන් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 382 ක් ලබා ගත්තා. නජ්මුල් හොසේන් ලකුණු 146 යි. පන්දු යැවීමේ දී නිජට් මසූඩ් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි. අෆ්සාර් සසායි ලකුණු 36 ක් රැස් කළ අතර, නසීර් ජමාල් ලකුණු 35 කට දැවී ගියා. පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් ලකුණු 47 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් වුණා.