ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමග ගුර්බාස් ගිවිසුම්ගත වෙයි

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායම විසින් සංචිතයේ රදවා ගත් හා අලුතින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව Guyana Amazon Warriors කණ්ඩායම විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් සමග ගිවිසුම්ගත වී ඇති වොරියර්ස් කණ්ඩායම පසුගිය වසරේ දී සිය කණ්ඩායමට ශූරතාවය දිනා දීම සදහා නායකත්වය ලබා දුන් ඉම්රාන් තහීර් ද සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
ගුර්බාස් 2022 අදියරේ දී ද වොරියර්ස් පිල නියෝජනය කළ අතර, එම වසරේ දී ඔහු තරග 6 ක් ක්‍රීඩා කර ලකුණු 157 ක් රැස් කළේ අර්ධ ශතක දෙකක් ද සමගින්.
පාකිස්තාන පිතිකරුවන් වන සයීම් අයුබ් හා අසාම් ඛාන් මෙන්ම දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් ප්‍රෙටෝරියස් ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම විසින් එළඹෙන තරග වාරය වෙනුවෙන් රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් රදවා ගත් කොදෙව් ක්‍රීඩකයින් අතරට ශිම්රන් හෙට්මයර්, ෂේයි හෝප්, රොමාරියෝ ෂෙපර්ඩ් හා කීමෝ පෝල් ඇතුළත්.
මේ වන විට වොරියර්ස් සංචිතය සතුව ක්‍රීඩකයින් 14 දෙනෙකු සිටින අතර, ඒ අනුව ජූලි මාසයේ දී පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී (Draft) ඔවුන් තවත් තෝරා ගත යුතු වන්නේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.
2024 CPL තරගාවලිය අගෝස්තු 29 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Guyana Amazon Warriors squad :
Imran Tahir, Shimron Hetmyer, Saim Ayub, Shai Hope, Romario Shepherd, Azam Khan, Gudakesh Motie, Rahmanullah Gurbaz, Kevin Sinclair, Dwaine Pretorius, Keemo Paul, Shamar Joseph, Kevlon Anderson, Junior Sinclair