Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානය ගැන ශ්‍රී ලංකාව හා ACC සභාපති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි ශ්‍රී ලංකාවේ දී පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබද තක්සේරු කිරීමක් මැයි 29 වනදා, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන දිනයේ දී සිදු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ශාහ් පවසනවා.

ANI පුවත් සේවය වෙත අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, එම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇත්තේ මෙරට පවතින ආර්ථික අර්බුදයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම එය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා කියා සිටියේ.

සාර්ථක ආසියානු කුසලානයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළා.

මැයි 29 වනදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ද පැමිණෙන බවත්, එහිදී තමා එම නිළධාරීන් සමග මෙරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් තක්සේරු කිරීමක් සිදු කරන බවත් ජේ ශාහ් පවසා සිටියා.