Ultimate magazine theme for WordPress.

අෆ්රිඩි, රිස්වාන් හා බාබර් පාකිස්තානයට තරගාවලියේ ජය හිමි කර දෙයි

Match Report

  • අයර්ලන්තය 178/7 (20 ov) (ලෝකන් ටකර් 73, ඇන්ඩි බල්බර්නි 35, හැරී ටෙකටර් 30*, ශහීන් ශාහ් අෆ්රිඩි 14/3, අබ්බාස් අෆ්රිඩි 43/2) 
  • පාකිස්තානය 181/4 (17 ov) (බාබර් අසාම් 75, මොහමඩ් රිස්වාන් 56, මාර්ක් අඩයර් 28/3) 

ශහීන් ශාහ් අෆ්රිඩිගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, මොහමඩ් රිස්වාන්ගේ හා බාබර් අසාම්‍ගේ වේගවත් අර්ධ ශතකත් හමුවේ අයර්ලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඩබ්ලින්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 18 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

පළමු කඩුල්ල ලකුණූ 16 දී දැවී යාමෙන් පසුව රිස්වාන් සමග පිටියේ එක්වූ නායක බාබර් දෙවැනි කඩුල්ලට පන්දු 74 කින් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 139 ක්.

රිස්වාන් පන්දු 38 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත් අතර, බාබර් පන්දු 42 කින් හයේ පහර 5 ක් හා හතරෙ පහර 6ක් සමග ලකුණු 75 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු සයීම් අයුබ් ලකුණු 14 කට දැවී ගිය අතර, අසාම් ඛාන් නොදැවී ලකුණු 18(පන්දු 6) යි.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ක්‍රෙයිග් යන්ග් එක් කඩුල්ලක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 41 කින් ලකුණු 73 ක් ලබා ගත් ලෝකන් ටකර්. හයේ පහරක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඇන්ඩි බල්බර්නි ලකුණු 35 (26) කට දැවී ගිය අතර, හැරී ටෙක්ටර් නොදැවී ලකුණු 30(20) යි.

ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම අඩපන කළා. අබ්බාස් අෆ්රිඩි කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 43 ක් ලබා දෙමින්.