අර්බුදය අවසන් ; අමෙරිකා 20යි 20 ලීගයට අයි.සී.සී අනුමැතිය

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) 20යි 20 තරගාවලිය සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජූලි මාසයේ දී පළමු වරට පැවැත්වීමට නියමිත මෙම නවතම ලීග් තරගාවලිය බාධාවකින් තොරව පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති.
තරගාවලියේ සංවිධායකයින් හා අමෙරිකා ක්‍රිකට් ආයතනය අතර පැවැති මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් තරගාවලිය මෙම වසරේ දී ආරම්භ කිරීම අර්බුදයකට ලක්ව තිබුණා.
නමුත්, අමෙරිකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනය කර ඇත්තේ තම ආයතනය විසින් Major League Cricket තරගාවලිය මෙන්ම Minor League Cricket (MiLC) තරගාවලිය ද අනුමත කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව MLC තරගාවලිය වෙනුවෙන් තෝරා ගත් සිය ක්‍රීඩකයින්ට තරගාවලියට එක්වීමට අවසර ලබා දීමට අයි.සී.සී සාමාජික රටවල්වලට මේ වන විට අවස්ථාව පවතිනවා.
2021 හා 2022 තරගවාරවලදී Minor League Cricket තරගාවලිය පැවැත්වීම සදහා මීට පෙර ද අමෙරිකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දී තිබුණා.
San Francisco Unicorns, Los Angeles Knight Riders, MI New York, Seattle Orcas, Texas Super Kings හා Washington DC යන කණ්ඩායම් 6 Major League Cricket තරගාවලියට ක්‍රීඩා කරන අතර, තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී හී දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිම (Draft) Houston හීදී මාර්තු 19 වැනිදා පැවැත්වුණා.
මේ වන විට අමෙරිකාවට සංක්‍රමණය වී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගත් අතර, ලහිරු මිලන්ත ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙක්සාස් කණ්ඩායම සදහායි.
දේශීය ක්‍රීඩකයින්ට අමතරව තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු ද අනාවරණය කෙරුණු අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Washington (DC) Freedom කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.