Ultimate magazine theme for WordPress.

“අපි යමෙකු ලෝක කුසලානයට යවන්නේ නම්, මහේලව තමයි යවන්නේ” : අරවින්ද

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඇතැම් විට ඉඩ පවතින බව sunday times වාර්තා කර තිබෙනවා.

මේ වන විට ලොව සාර්ථකම පුහුණුකරුවෙකු ලෙස සැලකෙන මහේල, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වසර 4ක් තුළ ශූරතා 3ක් දිනා දීමට මග පෙන්වනු ලැබුවා.

එමෙන්ම එංගලන්තයේ පැවැති “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ පළමු ශූරයින් වූ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු වන්නේ ද මහේල ජයවර්ධනයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම සාකච්ඡාවට ලක් වුණා.

ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ එම තනතුරට ගැළපෙනම පුද්ගලයා මහේල බවයි.

“අපි යමෙකු යවන්නේ නම්, අපි මහේලව තමයි යවන්නේ, ඔහු කැමති නම්” යනුවෙන් අරවින්ද ද සිල්වා මහතා සදහන් කළ බවයි sunday times වාර්තා කර ඇත්තේ.

“ඔහු විශිෂ්ට පුහුණුකරුවෙකු හා උපදේශකයෙකු බව ඔප්පු කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩක විවේකාගාරය බෙදා ගන්නවාට අපි කැමතියි”

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ලැබූ පරාජයෙන් පසුව ලෝක කුසලානය වෙනුවෙන් උපදේශකයෙකු පිටත් කර හැරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිළධාරීන්ගේ ද අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් සදහන්.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව ද හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමේ උපදේශක ලෙස පත් කිරීමට පසුගියදා කටයුතු කළා.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, මහේල ජයවර්ධන මේ වන විටත් එක්සත් අරාබියේ රැදී සිටින්නේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද(19) ආරම්භ වූ බැවින්.

Leave a comment