Ultimate magazine theme for WordPress.

අතීත වාර්තාවලට වඩා වැදගත් වත්මන් දක්ෂතා : චමරි පාකිස්තාන එක්දින තරගාවලිය ගැන කියූ දේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(1) ආරම්භ වනවා.

කරච්චි හී දී පැවැත්වෙන මෙම එක්දින තරගාවලියත් සමග 2022-25 කාලයට අදාළ අයි.සී.සී කාන්තා ශූරතාවලියේ නවතම අදියර ද ආරම්භ වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ පාකිස්තානයයි. ඒ අනුව ඔවුන් එක්දින තරගාවලිය සදහා ඉහළ මානසිකත්වයකින් යුතුව තරග බිමට පිවිසෙනු ඇති.

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 5 හා 2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට එම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සෘජුවම සුදුසුකම් ලබා ගන්නවා.

ඒ අනුව 2022 ලෝක කුසලාන තරගාවලියට ද සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සදහා හෝ සුදුසුකම් ලබා ගැනීමටනම් හෙටින් ඇරඹෙන අයි.සී.සී කාන්තා ශූරතාවලියේ ආරම්භයේ සිටම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම වැදගත් වනු ඇති.

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 30 අතරින් ශ්‍රී ලංකාව තරග 21ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත්තේ තරග 9ක් පමණයි.

කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පෙන්වා දුන්නේ ඉතිහාස වාර්තාවලට වඩා වර්තමානයේ දී දක්ෂතා අතර රැදී සිටීම වැදගත් වන බවයි.

“ඇත්තටම කොවිඩ් නිසා පසුගිය වසර දෙකක කාලය තුළ අපිට කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. අපිට ලෝක කුසලාන තරගාවලියත් අහිමි වුණා. ඒක අමාරු වසර දෙකක කාලයක් වුණා.” යනුවෙන් චමරි සදහන් කළා.

“අපිට සිද්ධවෙනවා හැමදේටම අනුකූල වෙන්න, අපිට සමහර දේවල් පාලනය කරන්න අමාරුයි. අපි උත්සාහ කරනවා අපේ ධනාත්මක ක්‍රීඩාවේ නිරත වෙන්න හැමවිටම. අපිට එක් පිතිකාරිණියක් අහිමි වුණා. ඉතිං අපි තවත් ක්‍රීඩිකාවක් කැදවා ගත්තා ශ්‍රී ලංකාවෙන්. අපිට තියෙනවා සැලසුම් කිහිපයක් එක්දින තරගාවලියට. අපිට ඒක ගොඩක් වැදගත් තරගාවලියක්. මොකද අපිට සිද්ධ වෙනවා අපේ ක්‍රිකට් දියුණු කර ගන්න. අපි ඉන්නේ දැන් 10 වැනි ස්ථානයේ. අපිට සිද්ධ වෙනවා තවත් ස්ථානයකින් හෝ දෙකකින් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙන්න.”

“ඇත්තටම මම හිතන්නේ අංක (ජය පරාජ ප්‍රමාණයන්) කියන්නේ වෙනස් දෙයක්. මේ දිනවල දක්ෂතා අතර ඉන්න එකයි වැදගත් දේ. පාකිස්තාන මේ වන විට අපිට වඩා දක්ෂතා අතර ඉන්නවා. මොකද අපි පසුගිය වසර දෙකේ දී කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කරලා නැහැ. ඔව් මම දන්නවා අතීත වාර්තා අපේ පැත්තට වාසි වෙන්නයි තියෙන්නේ. නමුත් අපිට සිද්ධ වෙනවා ගෞරව කරන්න එකිනෙකාට. විශේෂයෙන්ම පාකිස්තානය හොද කණ්ඩායමක්. අපි අපේ උපරිමය උත්සාහ කරනවා. අපි ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කරනවා මේ තරගාවලියේ දී. ප්‍රතිපල ඒවි. මම ප්‍රතිපල ගැන වදවෙන්නේ නැහැ. ක්‍රීඩාව භුක්ති විඳිමින් ක්‍රීඩා කරන්න.”