අක්සාර්-අශ්වින් ඉන්දියාවේ නම්බුව බේරද්දී ඔස්ට්‍රේලියාව ලකුණු 62 ක් ඉදිරියෙන්
Day 2 Report
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණා. ඒ වන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 62 ක්.
දිනය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියා. ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයකට පත් වූ ඩේවිඩ් වෝනර් මෙම තරගයෙන් ඉවත් කිරීමට අද පෙරවරුවේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගත් බැවින් දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිසියේ උස්මාන් කවාජා සමගින් ට්‍රැවිස් හෙඩ්.
කවාජා ලකුණු 6 කට දවා ගැනීමට රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා. හෙඩ් නොදැවී ලකුණු 39 ක් පන්දු 40 කින් ලබා ගෙන සිටින අතර, මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 16 යි.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 263 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඉන්දීය ඉනිම නිමා වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවූයේ එක් ලකුණක් පමණයි.
ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 139 ක් තුළ බිද වැටුණා. අක්සාර් පටෙල් ලකුණු 74 ක් හා ආර් අශ්වින් ලකුණු 37 ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගුවේ ලකුණු 114 ක සම්බන්ධතාවයක් 8 වැනි කඩුල්ල සදහා එක් කරමින්.
ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 44 ක් හා රෝහිත් ෂර්මා ලකුණු 32 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි. මෙම තරගයේ දී තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන චෙටස්වර් පුජාරාට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 67 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. ටොඩ් මර්ෆි හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ මැතිව් කුහ්නෙමන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.