Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන දිමුත් කියපු දේ

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(16) ආරම්භ වනවා. තරගය ගාල්ලේ දී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

අයර්ලන්තය මේ දක්වා ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 4ක්. 2018, 2019 වසරවලදී ඔවුන් සිය පළමු ටෙස්ට් තරග 3 ක්‍රීඩා කළ අතර, මෙම මාසය මුල දී බංග්ලාදේශයට එරෙහිව ඔවුන් සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළා.

අයර්ලන්ත කණ්ඩායම ටෙස්ට් තරග එකකට වැඩි තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම ද කැපී පෙනෙනවා. ඔවුන් මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නැහැ.

Also Read : ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

පසුගිය ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක මෙන්ම ඕෂද ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර නැහැ.

ඒ අනුව නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ නිශාන් මදුෂ්ක අද තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස තමා සමග පිතිකරණයේ නිරත වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල ද සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් අද තරගයේ දී සධීර සමරවික්‍රම යළි ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට නියමිතයි.

දග පන්දු යවන ක්‍රිඩක දුෂාන් හේමන්තට පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නොහැකි වනු ඇති බවත්, නමුත්, ඔහුට දෙවැනි තරගයේ දී අවස්ථාවක් ලබා දීමට අවධානය යොමු කරන බවත්, දිමුත් අවධාරණය කළා.

ඒ අනුව රමේෂ් මෙන්ඩිස් සමගින් ප්‍රභාත් ජයසූරිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම තරගය සදහා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගන්නා බවයි දිමුත් කියා සිටියේ.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට් තරග දෙක ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව තරග පැවැත්වෙන දිනවලදී දොරටු අංක 4 න් ප්‍රේක්ෂකයින්ට ගාලු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවස්ථාව හිමි වන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.