කෝලි, බුම්රා, අර්ෂ්දීප් හා පාන්ඩ්යා ඉන්දියාවට දෙවැනි T20 ලෝක ශූරතාවය හිමි කර දෙයි
Match Report

විරාත් කෝලි රැස් කළ ලකුණු 76(59) හා හර්ඩික් පාන්ඩ්යා, ජස්ප්‍රිට් බුම්රා මෙන්ම අර්ෂ්දීප් සිං පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හමුවේ 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 7ක ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් විස්සයි 20 ලෝක කුසලානයක් ජය ගැනීමට ඉන්දියාව අද(29) සමත් වුණා.
බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.
දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 4 කට දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වූ අතර, අර්ෂ්දීප් සිං විසින් ඒඩ්න් මාක්‍රම් ද ලකුණු 4 කට දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 58 (38) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ක්වෙන්ටන් ඩී කොක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් වුණේ දකුණු අප්‍රිකාව යළි සටනට අවතීර්ණ කරමින්.
ස්ටබ්ස් ලකුණු 31(21) කටත්, ඩී කොක් ලකුණු 39(31) කටත් දැවී ගියා.
අනතුරුව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 45 (22) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට හෙන්රික් ක්ලාසන් සමග පිටියේ එක් වූ ඩේවිඩ් මිලර් සමත් වුණේ තරගයේ වැඩි පාලනය සිය කණ්ඩායම දෙසට නතු කර ගනිමින්.
සුපිරි ප්‍රහාරයක් දියත් කළ ක්ලාසන් පන්දු 27 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 52 ක් රැස් කර සිටියදී දැවී ගියේ හර්ඩික් පාන්ඩ්යාගේ පන්දුවක් හමුවේයි.
ඔහු දැවී යන විට දකුණු අප්‍රිකාවට ජයග්‍රහනය සදහා අවශ්‍යව තිබුණේ පන්දු 23 කින් ලකුණු 26 ක් පමණයි. කෙසේ වෙතත්, පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හමුවේ යළි සටනට අවතීර්ණ වූ ඉන්දීය කණ්ඩායම 2007 වසරෙන් පසුව පළමු වරට විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.
ඩේවිඩ් මිලර් පන්දු 17 කින් ලකුණු 21 ක් ලබා සිටියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී දැවී ගියේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට නතු කරමින්. ඔහු දැවී ගියේ සූර්යකුමාර් යාදව් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි. (දර්ශන පහතින්)
පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් කෝලි ලබා ගත් අර්ධ ශතකයට අමතරව අක්සාර් පටෙල් ලකණු 47(31) ක් හා ශිවම් ඩූබේ ලකුණු 27(16) ක් රැස් කළා.
පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් හා අන්රික් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
View this post on Instagram