Ultimate magazine theme for WordPress.

ඉන්දියාවෙන් නිදහසට කරුණු පාකිස්තානය විමසයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළ යෝජනාව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ආසියානු ක්‍රිකට් කවුන්සලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරන අතර, මෙම යෝජනාවට අනුව ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමටයි අවධානය යොමු කර ඇත්තේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය සදහා සිය කණ්ඩායම පාකිස්තානයට නොයැවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ අතර, තරගාවලිය වෙනත් රටකදී පැවැත්විය යුතු බවටයි ඉන්දියාව සදහන් කර සිටියේ.

කෙසේ වෙතත්, පාකිස්තානය තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක් සිය රටේ දී පැවැත්වීමට සැලසුම් කරමින් පවතිනවා.

පාකිස්තාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari ලබන මාසයේ දී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කවුන්සල රැස්වීමට ඉන්දියාවේ ගෝවා වෙත පිටත්ව යාමට නියමිත අතර, එය ආසියානු කුසලානයේ අර්බුදය විසදා ගැනීමට ඉවහල් වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙතී සදහන් කළා.

ඉන්දියාව ක්‍රීඩා කරන තරග පාකිස්තානයේ නොපවත්වා වෙනත් රටකදී පැවැත්වීමට තීරණය කළහොත්, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානය ක්‍රීඩා කරන තරග ද වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාව පියවර ගත යුතු බවයි සභාපතිවරායගේ අදහස වී ඇත්තේ.

“අපගේ ස්ථාවරය වන්නේ සියල්ල අන්‍යෝන්‍ය පදනමක් මත විය යුතු බවයි. ඔව්, ඉතිහාසයේ පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රශ්න තිබුණා.ඒත් දැන් ප්‍රශ්න නෑ. ඉතිං පාකිස්ථානයේ ක්‍රීඩා නොකිරීමට තියෙන ඉන්දියාවේ නිදහසට කරුණ කුමක්ද?” යනුවෙන් නජාම් සෙතී පවසා සිටියා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්ගේ සභාපතිත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සලය පාකිස්තානයේ යෝජනාවට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

කෙසේ වෙතත්, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ වියදම් කපා හැරීමේ අරමුණින් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සෙසු සාමාජික රටවල්වලට ද අවශ්‍ය වී ඇත්තේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනයට යටත්ව ආසියානු කුසලාන තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමට බවයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් මෙන්ම මේ දිනවල නේපාලයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත් වන රටක් ද ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment