Ultimate magazine theme for WordPress.

ලහිරු කුමාර සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඊයේ(30) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී ගොදුරු වූ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ලහිරු කුමාර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට කැදවා ගන්නා බවත්, අනතුරුව ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී ඔහු සිය ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ආබාධය හේතුවෙන් ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී යොමු කරනු ලැබුවේ පන්දුවාර 2 ක් පමණයි. එහිදී ලකුණු 17 කට එක් කඩුල්ලක් දවා ගැනීමට ලහිරු සමත් වුණා.

ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතය සදහා ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. එම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

මීට පෙර දුෂ්මන්ත චමීර ද උරහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා. ආබාධය හේතුවෙන් ඔහු තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැහැ. ඔහු වෙනුවට සංචිතයට ආදේශ කෙරුණේ ඩිල්ෂාන් මදුෂංකයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍යතාවයක් ඇති වුවහොත් කැදවීමේ අරමුණින් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර, ඔවුන් තිදෙනා පසුගිය 23 වැනිදා බුලවායෝ හීදී සංචිතය සමග එක් වුණා.

එම ක්‍රීඩකයින් තිදෙනා අතරට ඇතුළත්ව සිටියේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ.

මේ වන විට මදුෂංකට අමතරව කසුන් රාජිත හා මතීෂ පතිරණ ශ්‍රී ලංකා සංචිතය තුළ ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස රැදී සිටිනවා. චාමික කරුණාරත්න ද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට ඇතුළත්.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය හෙට(2) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.