Ultimate magazine theme for WordPress.

PlayOffs වටය පැවැත්වෙන ආකාරය හා තරග කාලසටහන මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වූ මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(3) දිනයේදී නිමාවට පත්වුණා.

ඒත් සමගම තරගාවලියේ අවසන් වටය වන PlayOffs වටය සදහා තරග වදින කණ්ඩායම් හතර ප්‍රසාද ලකුණු සටහන මූලික කර ගනිමින් තෝරා පත් කරගෙන අවසන්.

රාජස්ථාන් රෝයල්ස්, චෙන්නයි සුපර් කිංග්ස්, කිංග්ස් ඉලෙවන් පංජාබ් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් හතර මූලික තරග වටයෙන් පසුව තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී, මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් PlayOffs වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

මූලික වටය නිමාවට පත්වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලී කැපිටල්ස් යන කණ්ඩායම් අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා හෙට (5) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවනවා.

ඒ, අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට ක්‍රීඩා කිරීම සදහායි.

එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන හා සිව්වන ස්ථාන වෙන්කර ගත් සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් එළඹෙන 6 වනදා අබුඩාබි ක්‍රීඩාංගනයේදී අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

Eliminator තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම තරගාවලියේ තවත් පියවරක් ඉදිරියට යමින් Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇති.

ඒ අනුව Eliminator තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම හා Qualifier 1 තරගය පරාජයට පත්වූ කණ්ඩායම, නොවැම්බර් 8 වෙනිදා අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට දින නියම වී ඇති Qualifier 2 තරගයට තරග වැදීමට වරම් දිනාගනු ලබනවා.

එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවාසාන මහා තරගය සදහා තරග වැදීමේ වරම දිනාගන්නා අතර, පරාජය වන කණ්ඩායමට තරගාවලියේ තෙවන ස්ථානය හිමි කර ගනිමින් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

අවසාන මහා තරගය නොවැම්බර් මස 10 වනදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර,  පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති 2020 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවයට උරුමකම් කියන කණ්ඩායම එදින තීරණය වීමට නියමිතයි.

Leave a comment