ශ්‍රී ලංකාවට තරග වැඩියි ; ආසියානු කුසලානයේ දෙමුහුන් ක්‍රමවේදයට පාකිස්තානයෙන් විරෝධයක්
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදයක් යටතේ පැවැත්වීමට ගත් තීරණයට තමා කැමැත්තක් නොදක්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මීළග සභාපතිවරයා ලෙස පත් වීමට ඉඩ ඇති Zaka Ashraf පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම දෙමුහුන් ක්‍රමවේදය ඔස්සේ පාකිස්තානයට වාසිදායක තත්ත්වයක් නොලැබෙන බවයි.
සත්කාරක රට ලෙස පාකිස්තානය සමස්ත තරගාවලියම සිය රටේ දී පැවැත්වීම සදහා අවශ්‍ය සාකච්ඡා සිදු කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.
ශ්‍රී ලංකාව තරග වැඩි ප්‍රමාණයකට සත්කාරකත්වය දැරීමට නියමිතව ඇති බවත්, පාකිස්තානයට තරග 4ක් පමණක් හිමිව ඇති බවත්, එය පාකිස්තානයේ යහපතට හේතු නොවන බවත් Zaka Ashraf සදහන් කළා.
කෙසේ වෙතත්, ESPNcricinfo වෙබ් අඩවිය වෙත ඔහු පවසා ඇත්තේ මේ වන විට ආසියානු කුසලානය පිළිබද තීරණයක් ගෙන ඇති බැවින් ඊට අනුකූල වීමට සිදු වන බවයි. තමා ඊට බාධාවක් සිදු නොකරන බව ද ඔහු සදහන් කර තිබෙනවා.
2023 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීමත් සමග මෙවර ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.
ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ දී ද, අනෙකුත් තරග 9 ශ්‍රී ලංකාවේ දී ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.