Ultimate magazine theme for WordPress.

2023 ආසියානු කුසලාන තරගාවලියට 6 වැනි රටත් සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා ඔවුන් සුදුසුකම් ලබා ගත්තේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නේපාල කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා අවසන් කණ්ඩායම තේරීම සදහා පැවැති ප්‍රිමියර් කුසලාන (ACC Men’s Premier Cup) තරගාවලියේ ශුරතාවය දිනා ගනිමින්.

ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් රටවල් 10 ක් තරග වැදුණු එම තරගාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කළේ නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමයි.

නේපාලයේ Kirtipur හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පන්දුවාර 33.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 117 ක් පමණක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 30.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව අවසන් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ නේපාලය ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා සුදුසුකම් ලබා ගත්තා.

ඊයේ ආරම්භ වූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ම අවසන් කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේ දී ද එම තරගය ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ දී නේපාලය ක්‍රීඩා කරන්නේ ඉන්දියාව හා පාකිස්තානයට එරෙහිවයි.

Leave a comment