වනිදුගේ දක්ෂ පන්දු යැවීම අභිබවා වාර්තා වූ රෝයි-රානා ප්රහාරය කොල්කටාවට ජය ගෙනෙයි
Match Report

ජේසන් රෝයිගේ හා නිටිෂ් රානාගේ වේගවත් ප්රහාරය මෙන්ම පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.
බැංගලූරුහී දී පැවැති මෙම තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 201 ක ඉලක්කය හඹා ගිය බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.
විරාත් කෝලි පන්දු 37 කින් ලකුණු 54 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සමගින්. මහිපාල් ලොම්රෝර් ලකුණු 34 ක් හා දිනේෂ් කාර්තික් ලකුණු 18 ක් ලබා ගත්තා. වනිදු හසරංග ලබා ගත්තේ ලකුණු 5 ක් පමණයි.
පන්දු යැවීමේ දී වරුන් චක්රවර්තී ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුයාෂ් ෂර්මා හා අන්ඩ්රි රසල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 200 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.
ජේසන් රෝයි පන්දු 29 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 48 (පන්දු 21 කදී) ක් ලබා සිටි නායක නිටිෂ් රානා හා ලකුණු 31 ක් ලබා සිටි වෙන්කටේෂ් අයියර්.
ඉනිම් 18 වැනි පන්දුවාරයේ දී, එනම් වනිදු මෙම තරගයේ දී යොමු කළ සිව්වන හා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් ඔහු එම කඩුලු දෙක දවා ගැනීම කැපී පෙනුණා. ඒ, කොල්කටා කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 69 ක් වාර්තා කළ පසුබිමකයි. වනිදු හසරංගට හැරුණු විට සෙසු සියලු පන්දු යවන්නන්ට පාහේ මෙම තරගයේ දී කොල්කටා පිතිකරුවන් දැඩි ප්රහාරයක් දියත් කළා.