Ultimate magazine theme for WordPress.

ශකිබ්ට, බංග්ලාදේශයට හා පාකිස්තානයට අයි.සී.සීයෙන් දඩුවම් පනවයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු විසින් අදාළ තරගයේ දී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය (“throwing a ball (or any other item of cricket equipment such as a water bottle) at or near a Player, Player Support Personnel, Umpire, Match Referee or any other third person in an inappropriate and/or dangerous manner during an International Match.”) උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවත්, ඒ අනුව ඔහුට එරෙහිව තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් හා ශකිබ්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

රාවල්පින්ඩිහී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ පාකිස්තාන දෙවැනි ඉනිමේ 33 වැනි පන්දුවාරය යොමු කරමින් සිටි ශකිබ් අල් හසාන් විසින් පිතිකරණයේ නිරතව සිටි මොහමඩ් රිස්වාන් දෙසට අනවශ්‍ය හා අවධානම් සහගත ලෙස පන්දුව විසි කිරීමට කටයුතු කළා.

ඒ අනුවයි ඊට එරෙහිව දඩුවම් නියම කිරීමට තරග තීරක රංජන් මඩුගල්ල මහතා කටයුතු කර ඇත්තේ. සිය වරද හා ලබා දුන් දඩුවම ශකිබ් විසින් පිළිගෙන තිබෙනවා.

මේ අතර, මෙම ටෙස්ට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන් පාකිස්තානයට තරග ගාස්තුවෙන් 30% ක දඩ මුදලක් ද, බංග්ලාදේශයට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් ද පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව එම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් පාකිස්තානයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 6 ක් හා බංග්ලාදේශයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 3 ක් කපා හැරීමටයි අයි.සී.සීය තීරණය කර ඇත්තේ.