Ultimate magazine theme for WordPress.

LPL තරගාවලිය අදින් ඇරඹේ – පළමු තරගයේ සියලු තොරතුරු මෙන්න

Preview

My11Circle ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වනවා.

ඒ, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 8ට ආරම්භවීමට නියමිත තරගයත් සමගයි.

තරගයේ ආරම්භක වේලාව රාත්‍රී 7.30 බවට මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු නිල තරග කාලසටහනෙහි දක්වා තිබූ නමුත්, අද තරගය රාත්‍රී 8ට ආරම්භ කරන බව ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණා.

සමාරම්භක උත්සවය පස්වරු 6.50ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙනු ඇති.

එල්.පී.එල් තරගාවලිය සදහා Let’s Rule හෙවත් “රජවීමට යමු” යන තේමා පාඨය කර ගනිමින් තරග බිමට පිවිසෙන කලම්බු කිංග්ස් කණ්ඩායමට ලොව ප්‍රබලම ලීග් තරගාවලි නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩ්‍රි රසල්, ඉසුරු උදාන සහ මන්ප්‍රීන් ගෝනි කැපී පෙනනවා.

කෙසේ වෙතත්, ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ කලම්බු කිංග්ස් කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන ගැටළුවක් වන්නේ පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස නිසි අයුරින් පුහුණු සැසිවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවීමයි.

සංචිතයට නම් කෙරුණු විදෙස් ක්‍රීඩකයින්ට කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් නීරෝධායන කාලසීමාවන්ට යටත්වීමට සිදුවීම නිසා පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස සියලු දෙනාට එක්ව පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමි වූයේ පළමු තරගයට පෙර දින, එනම් ඊයේ රාත්‍රියේ පැවැති පුහුණු සැසියේදී පමණයි.

“හොඳම සූදානමක් කියලා කියන්න බැහැ. මොකද අපි කණ්ඩායමක් විදියට එක දවසයි ප්‍රැක්ටිස් කළේ. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි.” යනුවෙන් මැතිව්ස් සදහන් කළා. “එකට ප්‍රැක්ටිස් නොකරට මෙතන ඉන්න සියළු දෙනාම ඇති තරම් ක්‍රිකට් ගහපු අය. තරුණ ක්‍රීඩකයොත් ඉන්නවා. නමුත් බහුතරය ක්‍රිකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ දේට හැඩ ගැහෙන්න අමාරුවෙයි කියලා හිතන්නේ නෑ. ඇත්තටම විදෙස් රටවලින් ආපු අයත් අමාරු තත්ත්වයකදී වුණත් ධනාත්මක විදියට තමයි තරගාවලිය දිහා බලන්නේ. මොකද අපි ආස කරන දේ අපිට ආයිත් ලැබිලා තියෙන හින්දා. ඉතිං අපිට මොන ගැටළුව ආවත් අපි ඒ දේවල් නිරාකරණය කරගෙන තරග ක්‍රීඩා කිරීමට ලැබීමම ලොකු දෙයක්”

හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන කලම්බු කිංග්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් රංගන හේරත් කටයුතු කරන නමුත් නීරෝධායන කාල සීමාවට යටත්ව සිටින බැවින් ඔහුට තවමත් පුහුණුවීම් සඳහා සහභාගිවීමේ අවස්ථාව හිමි වී නැහැ.

සංචිතයට ඇතුළත්ව සිටින කැනඩාවේ රවීන්දපාල් සිං ද පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීම කොළඹ කණ්ඩායම මුහුණදුන් තවත් ප්‍රධාන අභියෝගයක්.

කලම්බු කිංග්ස් සංචිතය

  • දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර,
  • විදේශීය – ඇන්ඩ්‍රි රසල් (කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය), ලෝරි එවන්ස් (එංගලන්තය), රවීන්දපාල් සිං (කැනඩා)
  • අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන.

කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඩේල් ස්ටේන් සහ දිල්රුවන් පෙරේරා වැනි ප්‍රබල ක්‍රීඩකයින් එක්ව සිටිනවා.

සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් මෙන්ම ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ද මහනුවර කණ්ඩායමට ඇතුළත්.

හිටපු ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පාකිස්තානයේ සොහයිල් තන්වීර්ට කොරෝනා වෛරසය වැළඳීම මහනුවර කණ්ඩායම මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් බවට පත් වුණා.

එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩේල් ස්ටේන් යන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා තවමත් කණ්ඩායම සමග එක් වී නැහැ.

“තරගයට පෙර අපි පුහුණු සැසි 2 කට සහභාගගිවුණා. මාස 8 කටත් වඩා කාලයක් බලාගෙන හිටියා පිටියට එන්න. ඉතිං හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සෑම ක්‍රීඩකයකුටම ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. ඒ දක්ෂතා පෙන්වන්න ලැබිලා තියෙන්නේ ලොකු ලීග් තරගාවලියක්.” යනුවෙන් නායක කුසල් ජනිත් සදහන් කළා. “නමුත් නිකන් හිටපු කාල සීමාවේදී ක්‍රීඩකයින්ගේ රිද්මය ගිලිහී යෑම හැම ක්‍රීඩකයකුටම ප්‍රශ්නයක් වෙලා ඇති. පුහුණුවීම් කළාට තරග වලට ක්‍රීඩා කරනවා වගේ වෙන්නේ නෑ. මොකද තරග ක්‍රීඩා කරන්න කරන්න තමයි නැති රිද්මයක් ඇඟට ඇවිල්ලා හරි රිද්මයට එන්නේ. අපේ ගොඩක් අය පුහුණුවීම් සහ ශාරීරික ව්‍යායාම් කළා. නමුත් තරගවලට ක්‍රීඩා කළ නැති නිසා කාටවත් කියන්න බෑ දක්ෂතා වල රිද්මයක් ගොඩ නැඟිලා තියෙනවද කියලා. මොකද තරගයක් ක්‍රීඩා කරලම තමයි ඒ ගැන තක්සේරුවක් ගන්න පුලුවන් වෙන්නේ.”

කැන්ඩි ටස්කර්ස් සංචිතය :

  • දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.
  • විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහයිල් තන්වීර් (පාකිස්තානය)
  • අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ.

පළමු තරගයේ පිටියේ විනිසුරුවන් – රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල්.

තෙවන විනිසුරු – රුචිර පල්ලියගුරුගේ, සිව්වැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

තරග තීරක – ග්‍රෑම් ලැබ්‍රෝයි

ALSO READ : හැමෝම හොයපු හම්බන්තොට කාළගුණ වාර්තාව මෙන්න

(තරගාවලියේ තරග කාලසටහන, ප්‍රසාද ලකුණු සටහන ඇතුළු සියලු තොරතුරු අපගේ වෙබ් අඩවිය ඔස්සේ යාවත්කාලීන කරන අතර, එල්.පී.එල් තරගාවලියේ සියලු පුවත් එසැණින් ලබා ගැනීම සදහා අපගේ වෙබ් අඩවිය සහ සමාජජාලා මාධ්‍ය ගිණුම් සමග රැදී සිටින්න)

(ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියේ පල කර ඇති ලිපියක තොරතුරු ද මෙම ලිපිය සදහා යොදා ඇත)

Leave a comment