Ultimate magazine theme for WordPress.

IPL තරග වාරයක එකදු හයේ පහරක්වත් එල්ල නොකළ ක්‍රීඩකයන් අතරට අපේ සුපිරි පිතිකරුවෙකුත්

ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ මහත් ආකර්ෂණය දිනාගැනීමට සමත්කම් දක්වා ඇති ක්‍රිකට් ලීග් සැණකෙලියක් වන ඉන්දිය ප්‍රිමියර් ලීගය මේ වන විට අවසානය දක්වා ලං වෙමින් පවතිනවා.

තරගාවලියේ මූලික අදියර අවසන් වී ඇති මොහොතේ වැඩි දෙනෙකුගේ කතා බහකට ලක්වූ ක්‍රීඩකයකු බවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කළ ග්ලේන් මැක්ස්වෙල් පත්ව සිටියා.

ප්‍රවේගකාරී පිතිකරණ විලාශයක් පෙන්නුම් කල පිතිකරුවෙකු වුවද මෙවර තරගාවලිය ඔහු අවසන් කළේ ඉතාමත් අසාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින්.

තරගාවලිය පුරා පන්දු 100 කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දුන් පිතිකරුවන් අතරින් එකදු හයේ පහරක් හෝ එල්ල කිරීමට සමත් නොවූ පිතිකරුවා බවටයි ග්ලේන් මැක්ස්වෙල් පත් වුණේ.

තරග 13 කට නොකඩවා ක්‍රීඩා කළ ඔහු පන්දු 106 කට මුහුණ දී රැස්කර තිබුණේ ලකුණු 108 ක් පමණයි.

ඔහුගේ පිතිකරණ සාමන්‍ය 15.42 ක් ලෙස සටහන්ව තිබූ අතර එම පන්දු 106 තුළ එකදු හයේ පහරක් එල්ල කිරීමට මැක්ස්වෙල් හට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසය තුළ තරග වාරයකදී පන්දු 100 කට වඩා මුහුණ දුන් පිතිකරුවන් අතුරින් එකදු හයේ පහරක් හෝ එල්ල කිරීමට අපොහොසත් වූ 9 වන පිතිකරුවා ලෙසටයි ග්ලේන් මැක්ස්වෙල් ඉතිහාසයට එක් වුණේ.

එම ලැයිස්තුවේ අනෙකුත් ක්‍රීඩකයන් 08 දෙනා අතරට ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ පිතිකරුවකු ද වීම විශේෂත්වයක්.

එම ක්‍රීඩකයන් 08 දෙනා පිළිබඳව විමසා බැලීමටයි අප අද මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ.

08. කේන් විලියම්සන් (2016)

2016 වසරේ අයි.පී.එල්. ශූරතාවය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ කේන් විලියම්සන් එම තරගාවලියේ තරග 6 කට මුහුණ දී පන්දු 122 ක් තුළ රැස්කරගැනීමට සමත්වන්නේ ලකුණු 124 ක් පමණයි. එහිදු එකදු හයේ පහරක් වාර්තා කිරීමට විලියම්සන් හට හැකියාව ලැබී තිබුණේ නැහැ.

07. චෙටස්වර් පුජාර (2014)

සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ ප්‍රභල ක්‍රීඩකයකු නොවන චෙටස්වර් පුජාරා අවසන් වරට අයි.පී.එල්. තරගාවලියකට ක්‍රීඩා කර තිබුණේ 2014 වසරේදීයි. එහිදී පංජාබ් කණ්ඩායම නියෝජනය කරමින් තරග 6 ක් ක්‍රීඩා කළ ඔහු පන්දු 124 කට මුහුණ දී රැස්කරගැනීමට සමත්ව තිබුණේ ලකුණු 125 ක් පමණයි. එයට ද එකදු හයේ පහරක්වත් ඇතුලත්ව තිබුණේ නැහැ.

06. මන්දීප් සිං (2013)

තරග තුනකදී පමණක් ඉන්දිය ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන මන්දීප් සිං අයි.පී.එල් තරග 104 කට ක්‍රීඩා කිරීමට තරම් දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. නමුත් 2013 වසර ඔහුට සාර්ථක වසරක් වුණේ නෑ. එම වසරේදී තරග 16 කට ක්‍රීඩා කර පන්දු 223 කදී ඔහු ලබා ගත්තේ ලකුණු 260 ක් පමණයි. එම ලකුණු අතරට එකදු හයේ පහරක්වත් ඇතුලත්ව නැහැ.

05. සුබ්‍රමනියම් බද්‍රිනාත් (2013)

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග 95 ක් ක්‍රීඩා කර ඇති ඉන්දිය පිතිකරු සුබ්‍රමනියම් බද්‍රිනාත් 2013 වසරේ අයි.පී.එල්. තරගාවලිය පුරා ඉනිම් 8 ක් තුළ පන්දු 121 කට මුහුණ දී ලකුණු 124 ක් රැස්කර තිබුණා. නමුත් එයට එකදු හයේ පහරක් හෝ අඩංගු වී නොතිබුණි.

04. කුමාර් සංගක්කාර (2013)

ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර අයි.පී.එල්. තරග 71 ක් නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු අයි.පී.එල්. තරගාවලියකට ක්‍රීඩා කල අවසන් වසර වන 2013 වසර සංගාට එතරම් සාර්ථක වසරක් වූයේ නැහැ. එම වසරේදී තරග නවයකට ක්‍රීඩා කර ඇති ඔහු පන්දු 136 ක් තුළ රැස්කර තිබුණේ ලකුණු 120 ක් පමණයි. එයට එකදු හයේ පහරක් හෝ ඇතුළත් වී තිබුනේ නැහැ.

03. නිතින් සයිනි (2012)

පංජාබ් කණ්ඩායම නියෝජනය කළ ඉන්දිය පිතිකරුවෙකු වන නිතින් සයිනී 2012 අයි.පී.එල්. තරගාවලියේදී තරග 10 කට ක්‍රීඩා කර පන්දු 141ක් තුළ රැස්කර තිබුණේ ලකුණු 140 ක් පමණයි. එම තරගාවලියේදී ඔහුට එකදු හයේ පහරක් හෝ වාර්තා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

02. ඒ.බී. ඩිවිලියර්ස් (2010)

මෙම ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීමනම් සැබවින්ම පුදුමයක්. ඉතාමත් ප්‍රවේගකාරී ඉනිම්වලට ප්‍රිය කරන විශිෂ්ඨ පිතිකරුවකු වන ඒ.බී.ඩිවිලියර්ස්ට 2010 වසරේ අයි.පී.එල්. තරගාවලිය එතරම් සුබවාදී තරගාවලියක් වී තිබුණේ නැහැ. එහිදී තරග 7 කට ක්‍රීඩා කළ ඩිවිලියර්ස් පන්දු 119 කදී රැස්කරගැනීමට සමත් වී තිබුණේ ලකුණු 111 ක් පමණයි. ඊට එකදු හයේ පහරක් හෝ වාර්තා වී තිබුණේ නෑ.

01. මිතුන් මන්හාස් (2010)

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග 55 කට ක්‍රීඩා කර ඇති පිතිකරුවෙකු වන මිතුන් මනහාස් 2010 වසරේ පැවති අයි.පී.එල්. තරගාවලියේදී තරග 9 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී පන්දු 149 කට මුහුණ දී ලකුණු 157 ක් රැස්කර ඇති ඔහු එකදු හයේ පහරක් එල්ල කර තිබුණේ නැහැ.

Leave a comment