Ultimate magazine theme for WordPress.

1996 ගැලවුම්කරුවාගේ අමතක නොවන දක්ෂතාවයන් දෙකක්

“ඔහු තමයි මගේ ප්‍රියතම ශ්‍රී ලාංකික පිතිකරුවා. 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී මම විස්තර විචාරකයෙකු ලෙස විචාරක කුටියේ හිටියා. ඔහු ලෝකයට පෙන්නුම් කළා ඉතා උසස් පිතිකරුවෙකු කියලා. මම පිතිකරුවෙකු මැන බලන්නේ ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණය අනුව නෙවෙයි ප්‍රමුඛ අවස්ථාවන්වලදී ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අනුවයි. මොහු ප්‍රමුඛ අවස්ථාවන්වලදී දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. කඩුලු දෙකක් දැවී ගිය අවස්ථාවක(එක් ලකුණකට) ඔහු අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව එල්ල කරපු ප්‍රහාරය සියල්ලන් මවිතයට පත් කළා”

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ම බිහි වූ සුපිරි පිතිකරුවෙකු පිළිබද වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රී මෑතකදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් තමයි ඒ.

ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක ක්‍රිකට් ශූරතාවයක් දිනා දීමට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ එම ක්‍රීඩකයා අද සිය 55 වන උපන් දිනය සමරනවා.

ඒ සොදුරු ක්‍රීඩකයා අන් කවරෙකුවත් නොව අරවින්ද ද සිල්වායි.

ඇතැම් විට “අරා” නොමැතිනම් 1996 ලෝක කුසලානය ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සිහිනයක්ම පමණක් වීමට ඉඩ තිබුණා.

ඒ විශේෂයෙන්ම කණ්ඩායම අර්බුදයට මුහුණ දුන් අවස්ථා රැසකදීම කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට “අරා” පත් වීම හේතුවෙන්.

දැඩි පීඩනයක් මැද අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව පිත්තෙන් දැක් වූ දක්ෂතා මෙන්ම අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තුන් ඉරියව්වෙන් දැක් වූ දක්ෂතා මෙහිදී ප්‍රධාන වනවා.

ඉන්දියාවේ කොල්කටා ක්‍රීඩාංගනයේ ඉන්දියාවට සහාය දක්වන ලක්ෂයක පමණ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ එක් ලකුණකට කඩුලු 2ක් බිද වැටී තිබූ අවස්ථාවක කිසිදු පීඩනයක් හිතට නොගත් මේ අසහාය ක්‍රිකට් විරුවා පිටිය සිසාරා ඉන්දීය පන්දු යවන්නන්ට පහර දුන්නේ සියල්ලන් පුදුමයට පත් කරමින්.

ඔහු එම තරගයේ දී පන්දු 47කින් රැස් කළ වේගවත් ලකුණු 66ට හතරේ පහර 14ක් ඇතුළත්ව තිබුණා.

පන්දු යැවීමෙන් ද එක් කඩුල්ලක් තම නම ඉදිරියේ සටහන් කර ගත් “අරා” එම තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

අනතුරුව ලාහෝර් පිටියේ පැවැති අවසන් මහා තරගයේ දී අරවින්ද ද සිල්වා තුන් ඉරියව්වෙන් දැක් වූ දක්ෂතානම් කිසිදු ක්‍රීඩාලෝලියෙකුට කිසිදා අමතක කළ නොහැක.

පන්දු යැවීමෙන් ලකුණු 42කට කඩුලු 3ක් බිද හෙලූ ඔහු, උඩ පන්දු දෙකක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම අඩපන කළා.

අනතුරුව අංක 4 පිතිකරු ලෙස ලෝක කුසලාන අවසන් තරගයේ දී “අරා” පිටියට පිවිසෙන විට ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ ලකුණු 23ට කඩුලු 2ක් වශයෙන්.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයෙන් කිසිදු අමතර පීඩනයක් නොගත් මේ සොදුරු පිතිකරුවා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ද දැක් වූයේ අනුකම්පා විරහිත බවක්.

හෝරා කිහිපයකට පසුව ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක පහස පළමු වරට හිමි කර දෙමින් එම තරගය අවසන් වුණේ අරාගේ පිත්තට නොදැවුණු ලකුණු 107(124)ක් පිරිනමමින්.

මෙම සුපිරි දක්ෂතාවය නිසා අවසන් තරග‍යේ ද වීරයා ලෙස ඔහු සම්මාන දිනා ගත්තේ ලෝක ක්‍රිකට් පිටියේ මෙතෙක් බිද හෙලීමට නොහැකි වූ වාර්තාවක් ද සමගින්.

ඒ, ලෝක කුසලාන අවසන් මහා තරගයක ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී පිතිකරුවෙකු වාර්තා කළ එකම ශතකයේ හිමිකරුවා බවට අරා පත් කරමින්.

“අරා” ඔබට සුබ උපන් දිනයක්.

අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් මහා තරගයේ දී අරවින් ද සිල්වා දැක් වූ දක්ෂතා පහත වීඩියෝවලින් නරඹන්න –

Leave a comment