ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමා වෙයි
Innings Report

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(10) ක්‍රයිස්චර්ච් හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
දිනය ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305 ක්. ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 355 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
දිනයේ දෙවැනි පන්දුවාරයෙන්ම ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල දවා ගැනීමට නවසීලන්තය සමත් වුණේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා දැවී යාමත් සමගයි.
පිට ඉන්නෙන් පිටතට දෝලනය වෙමින් ඇදී ගිය පන්දුවකට හඹා ගොස් පහරක් එල්ල කිරීමට යාමේ දී පිත්තේ යන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලෙස ඇදී යාමෙනුයි ධනංජයට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.
ඔහු දැවී යන විට පන්දු 59 කින් ලකුණු 46 ක් ලබා සිටියා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ධනංජයගේ ඉනිමට ඇතුළත්.
කසුන් රාජිත වටිනා ලකුණු 22(39) ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද සමගින්. ප්‍රභාත් ජයසූරිය පන්දු 40 කින් ලකුණු 13 ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 10(10) ක් ද ලබා ගත්තා. ලහිරු කුමාර නොදැවී ලකුණු 13(32) යි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් රැස් කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 64 ක් ලබා දෙමින්. මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් බිද හෙලුවා.