මදුෂ්කගෙන් යළි ශතකයක් ; දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයත් ජය පැරදුමෙන් තොර වෙයි
Match Report

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැති දෙවැනි හා අවසන් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද අද(10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ අනුව තරග 2 කින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ තරග 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.
ගාල්ලේ පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද (10) දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 173 ක්.
නායක හසීබ් හමීඩ් ලකුණු 47 ක් ද, ජොෂ් බොහනන් නොදැවී ලකුණු 34 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 61 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356 ක්. නිශාන් මදුෂ්ක ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 125 කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 16 ක් ඇතුළත්.
කමිදු මෙන්ඩිස් ලකුණු 67 ක් හා ලහිරු උදාර ලකුණු 63 ක් රැස් කරමින් ශ්‍රී ලංකා A ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී Jack Carson ලකුණු 94 කට කඩුලු 4 ක් හා Josh Tongue ලකුණු 77 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 332 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 405 ක්.