Ultimate magazine theme for WordPress.

ලංකාවෙන් ලෝකෙට එන අලුත්ම ක්‍රිකට් ලීගය ‘Lanka T10’

‘Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ඉදිරියේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

ඉදිරි දින කිහිපයේ දී ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.

පැවැත්විය හැකි වන්නේ කවදාද ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ජාත්‍යන්තර තරග කාලසටහන අනුව ඔවුන් පළමුව ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග 3කින් යුත් එක්දින තරගාවලියක් එළඹෙන 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී යි. කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ද දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ALSO READ : ක්‍රීඩාංගන 3 කදී පැවැත්වෙන LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම ලංකා ටී ටෙන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරාවිද? එහිදී LPL තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් ද T10 තරගාවලිය සදහා ද සම්බන්ධ කර ගැනීමේ අතිරේක වාසියක් සංවිධායකයින්ට හිමි වනු ඇති.

කෙසේ වෙතත්, 2023 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇත්තේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

එහි තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති බැවින් T10 තරගාවලිය සදහා ජනවාරි මස මුල් සතියෙන් දින ලබා ගත හැකිදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි.

LPL තරගාවලිය ද දින 18 ක් වැනි කාලයකදී පවත්වා අවසන් කරන බැවින් T10 තරගාවලිය සති දෙකකටත් අඩු කාලයකදී පවත්වා අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවට බොහෝ දුරට අනුමාන කළ හැකියි.

ඉන්දීය තරග සංචාරයෙන් පසුව පෙබරවාරි මාසයට යෙදී තිබූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද එළඹෙන 25 වැනිදා සිට ආරම්භ වන බැවින් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් අයි.සී.සී තරග කාලසටහනට (FTP) අනුව යෙදී නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මාසයේ දී පූර්ණ තරග සංචාරයක් සදහා නවසීලන්තය බලා පිටත්ව යාමට ද නියමිතව තිබෙනවා. මාර්තු 9 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා පුරා මාසයක් එම තරග සංචාරය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ලංකා ටී ටෙන් තරගාවලියේ පළමු අදියර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම හෝ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

තරගාවලිය පවත්වන්නේ කුමන දිනවලදී ද යන්න මෙම සති අන්තයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනු ඇති.