Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරගය කල් යද්දී කාසියේ වාසියෙන් ජයග්‍රාහකයා තේරීමටත් තීරණයක්

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ(28) රාත්‍රියේ දී අත්හිටුවීමට සිදු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය රායිපූර්හී දී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

බෙන් ඩන්ක් ලකුණු 46 ක්, ඇලෙක්ස් ඩූලන් ලකුණු 35 ක් හා නායක ශේන් වොට්සන් ලකුණු 30 ක් ලබා ගත්තා. කැමරන් වයිට් හා බ්‍රැඩ් හැඩින් පිළිවෙලින් ලකුණු 6 ක් හා 1 ක් නොදැවී ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අභිමන්යු මිතුන් ලකුණු 15 කට කඩුලු 2 ක් හා යුසුෆ් පතාන් ලකුණු 36 කට කඩුලු 2ක් දවා ගත්තා.

පන්දුවාර 17 ක් නිමා වීමෙන් පසුව වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ බැවින්, අද පස්වරු 3.30 සිට තරගය නතර කළ අවස්ථාවේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය හෙට(30) දිනය දක්වා කල් දමා තිබෙනවා.

තරගය හෙට රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

කෙසේ වෙතත්, අවසන් මහා තරගය පෙර සැලසුම් කළ පරිදිම එළඹෙන පළමු වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් පූර්ව තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් කාසියේ වාසිය මත තරගයේ ජයග්‍රාහකයා තෝරා ගන්නා බවයි සංවිධායකයින් නිවේදනය කළේ.

අවසන් මහා තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුවහොත් අවසන් තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු අවසන් පූර්ව තරගය අද දිනයේ දී යළි ක්‍රීඩා කිරීමට (අත්හිටු වූ මොහොතේ සිට) නියමිතව ඇතත්, ප්‍රකාශයට පත් කර ඇති නීති අනුව දෙවැනි අවසන් පූර්ව තරගය සදහා එලෙස අතිරේක දිනයක් වෙන් කර නැහැ.

අවසන් මහා තරගය එළඹෙන පළමු වැනිදාටම යොදා තිබීම ඊට හේතුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත්, එම තරගයේ ඉතිරි කොටස ඊට පසුදින, එනම් අවසන් මහා තරගය පැවැත්වෙන එළඹෙන පළමු වැනිදා පස්වරුවේ දී ක්‍රීඩා කරනු ඇත්දැයි සැක සහිතයි.

Leave a comment