Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නීති රැසක් සංශෝදනයට ලක් කෙරේ ; 20යි විස්සේ දඩුවම එක්දින පිටියටත්

එළඹෙන ඔක්තෝබර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝදනය කර ඇති ක්‍රිකට් තරග නීති සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(20) නිල වශයෙන් නිවේදනය කළා.

සෞරව් ගංගුලිගේ ප්‍රධානීත්වයෙන් යුත් අයි.සී.සී පිරිමි ක්‍රිකට් කමිටුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ සදහා අයි.සී.සී විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(20) නිවේදනය කළේ.

ඒ අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අවස්ථාවක ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා, දැවී ගිය පිතිකරුවා රැදී සිටි පිතිකරණ අන්තයේ සිටිය යුතුයි.

මේ වන විට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී යන විට අදාළ උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේ දී පිතිකරුවන් දෙදෙනා තණතීරුව තුළ ලකුණක් කරා පැති මාරු කර ගැනීමට උත්සාහ දරමින් එකිනෙකා පසු කර සිටියහොත් නව පිතිකරු පන්දු යවන්නාගේ අන්තයට පැමිණිය යුතුව තිබුණා. එනම් ඊළග පන්දුවට මුහුණ දිය යුත්තේ නව පිතිකරුවා නොව පිතිකරු දැවී ගිය පන්දුවේ දී පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටි පිතිකරුවායි.

පන්දු රකින කණ්ඩායම විසින් පන්දුවේ කේඨය (කෙල) තැවරීම කොවිඩ් 19 වසංගතයත් සමග තාවකාලිකව තහනම් කෙරුණු අතර, මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් පැවැති මෙම තහනම ස්ථීර තහනමක් බවට පත් කරමින් ඉදිරියටත් එම නීතියම පවත්වා ගෙන යාමට අයි.සී.සී ය තීරණය කර තිබෙනවා.

මේ අතර, කඩුල්ලක් දැවී යාමෙන් පසුව පිටියට පිවිසෙන සියලු පිතිකරුවන් ඉදිරියේ දී ටෙස්ට් හා එක්දින තරගවලදී මිනිත්තු දෙකක් තුළ දී පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු බව ද අයි.සී.සී ය සදහන් කළා. මීට පෙර ඒ සදහා මිනිත්තු 3ක කාලයක් ලබා දී තිබුණා. එසේ අසමත් වන පිතිකරුවන් timed out ක්‍රමවේදය ඔස්සේ දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ හැකියි.

කෙසේ වෙතත්, 20යි 20 තරගවලදී තත්ත්පර 90 ක් තුළ නව පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු බවට වන නීතිය ඉදිරියටත් එලෙසම පවතිනු ඇති.

පිතිකරුවා පන්දුවට පහර දීමේ දී පිත්තේ හෝ පිතිකරුවාගේ යම් කොටසක් තණතීරුව තුළ රැඳී තිබීම අනිවාර්යය වන අතර, එසේ නොවන අවස්ථාවක් විනිසුරු විසින් අජීවී පන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති. පිතිකරුවාට තණතීරුවෙන් ඉවත් වීමට බල කරන ඕනෑම පන්දුවක් නිපන්දුවක් ලෙස ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර, පන්දු යවන්නා පන්දු යැවීමට දුවමින් සිටින අතරතුර පන්දු රැකීමෙහි කිසියම් අසාධාරණ වෙනසක් හෝ හිතාමතා චලනයක් සිදු කළහොත්, විනිසුරු විසින් පන්දු රකින කණ්ඩායමට දඩුවමක් ලෙස පිතිකරණ කණ්ඩායම වෙත ලකුණු පහක් (දඩුවම් ලකුණු) ලබා දීමට ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම එම පන්දුව අජීවී පන්දුවක් ලෙස ද සංඥා කරනු ඇති.

පන්දුව යොමු කිරීමට පෙර පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටින පිතිකරු සීමා ඉර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දු යවන්නා විසින් කඩුල්ල බිද දමමින් මැන්කඩින් ක්‍රමවේදය යටතේ පිතිකරුවා දවා ගන්නා අවස්ථාව දුවද්දී දැවී යාමේ නීති කාණ්ඩය වෙත (38 වන නීති කාණ්ඩය) ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් එය පැවතුනේ 41 වන නීති කාණ්ඩය හෙවත් ‘අසාධාරණ ක්‍රීඩාව’ නම් නීති කාණ්ඩයේ යි. ඒ අනුව ඉදිරියේ දී එය මැන්කඩින් ලෙස හැදින්වීමක් සිදු නොකරන අතර, එය දුවද්දී දැවී යාමක් ලෙස හැදින්වීමට නියමිතයි.

මීට පෙර පන්දු යවන්නෙකු පන්දුව යොමු කිරීමට පෙර පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට සූදානම්ව පසුවන අවස්ථාවක පන්දු යවන්නා හට පන්දුව යොමු නොකර පිතිකරුවා දුවද්දී දවා ගැනීම සදහා පන්දුව පිතිකරණ අන්තය වෙත විසි කිරීමේ අවස්ථාව පැවති නමුත්, නව නීති ප්‍රකාරව එවැනි අවස්ථාවක් අජීවී පන්දුවක් ලෙසට විනිසුරු විසින් සංඥා කළ යුතු වනවා.

මේ අතර, පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා ගෙන යාමට අසමත් වන අවස්ථාවලදී නියමිත කාලයෙන් පසුව යොමු කරන පන්දුවාර සදහා අමතර පන්දු රකින්නෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතු බවට 20යි 20 තරග සදහා පසුගිය ජනවාරි මාසයේ සිට පනවා ඇති නීතිය එක්දින තරග සදහා ද ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය 2023 වසරේ දී අවසන් වීමෙන් පසුව මෙම නව දඩුවම එක්දින තරග සදහා ද යොදා ගැනීමට නියමිතයි.

20යි 20 තරගයක පවර් ප්ලේ අවස්ථාවෙන් පසුව ඉතිරි පන්දුවාර 14 යොමු කිරීමේ දී යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නන් 5 දෙනෙකු රැද විය හැකි නමුත්, ජනවාරි මාසයේ සිට හදුන්වා දුන් නව නීතිය අනුව පන්දු රකින කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා කර නොමැති නම්, නියමිත කාලයෙන් පසුව යොමු කරන පන්දුවාරවලදී යාර 30 සීමාවෙන් පිට රැදවිය හැකි වන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.

Leave a comment