Ultimate magazine theme for WordPress.

“ඉන්දු, බංග්ලාදේශ තරගාවලි පැවැත්වීමට උත්සාහ ගන්නවා” – ශ්‍රී ලංකා ක්‍රිකට්

තාවකාලිකව අවලංගු කෙරුණු එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඩේලි නිව්ස් වෙත අදහස් දක්වමින් සදහන් කළේ ජනවාරි මාසය සදහා අදාළ තරගාවලිය කල් දමා ඇතත්, මෙතෙක් එම තරගාවලිය සදහා දින නියම කර නොමැති බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන එංගලන්ත – ශ්‍රී ලංකා තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පසුගිය මාර්තු 19 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

ඊට පෙර පුහුණු තරග දෙකක් ද පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණ දින 10ක පමණ කාලයකින් පසුව තරග සංචාරය අතරමග නතර කර යළි සියරට බලා පිටත්ව ගියේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

එම කාලයේ දී එක් පුහුණු තරගයක් පමණක් පැවැත්වූ අතර, අනෙක් පුහුණු තරගය ද අතරමග නවතා දැමුණා.

අදාළ ටෙස්ට් තරගාවලිය යළි ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතත්, එම මාසයේ දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාවට පැමිණීමට ද නියමිතව තිබෙනවා.

නමුත් එම ඉන්දීය තරග සංචාරය මාසයකින් කල් දැමීමේ හැකියාව පවතින බව ද සදහන්.

මේ අතර, මේ වන විට දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද තාවකාලිකව අවලංගු කර ඇත්තේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

ඊට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශය ද ඉදිරියේ දී ශ්‍රී ලංකා තරග සංචාරයන්හි නිරත වීමට නියමිතයි.

අදාළ තරගාවලි කෙසේ හෝ ඒ ආසන්න කාල වකවානුවකදී ම පැවැත්වීම සදහා සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Leave a comment