Ultimate magazine theme for WordPress.

LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනය, වේලාව හා ක්‍රීඩකයින් සංඛ්‍යාව නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (5) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කණ්ඩායම් කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙනවා.

දේශිය ක්‍රීඩකයින් අතරට පළමුපෙල ක්‍රීඩකයින්, ජාත්‍යන්තර ක්‍රීඩකයින් හා හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට වට 20 ක් ඇතුළත්. ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් පසුව එක් සංචිතයක් සදහා උපරිමය ක්‍රීඩකයින් 20 දෙනෙකු සිටිය හැකි අතර, ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද සෑම සංචිතයකටම ඇතුළත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා “Gold Round” යනුවෙන් ද වට දෙකක් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඇතුළත්.

තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පසුගිය ජූනි 14 වැනිදා සිට ආරම්භ කර තිබූ අතර, එම කටයුතු ජූනි 28 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

කාන්ඩ කිහිපයක් යටතේයි විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කර තිබුණේ.

එනම්, ‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ හා ‘B,’ සහ International Platinum වැනි කාණ්ඩ යටතේයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.

රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙකු පමණයි.

එමෙන්ම කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.