මේක ශ්‍රී ලංකාවට පාරාවළල්ලක් වේවි : වෝනර්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

එක්දින ක්‍රිකට් තරගාවලියේ දී යොදාගත් දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි සහගත තණතීරු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමටම පාරාවළල්ලක් වනු ඇති බව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.
ශ්‍රී ලංකාව සමඟ පැවති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු හතරක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සදහන් කළා.
මෙවැනි තණතීරු තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම තුළින් ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වීමට ඕස්ට්‍රේලියාවට කදිම අවස්ථාවක් ලබා දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සිව්වැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ(21) පැවැත්වුණේ තෙවැනි එක්දින තරගය පැවති තණතීරුව තුළමයි.
ඩේවිඩ් වෝනර් පෙන්වා දෙන්නේ භාවිතා කළ එවැනි තණතීරු තුළ ක්‍රීඩා කිරීමට ලැබීම ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වීමට මනා අවස්ථාවක් සලසා දුන් බවයි.
පුහුණු දැල් තුළ දී එවැනි වාතාවරණයක් කිසිසේත් නොලැබෙන බව ඔහුගේ අදහසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි එක්දින තරගයේ දී දඟ පන්දු යවන්නන් හය දෙනෙකු භාවිතා කිරීම විශේෂත්වයක්.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 40 කට වඩා වැඩි සංඛ්‍යාවක් දඟ පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට මෙම තරගයේ දී සිදුවුණා.
වසර 51ක් පැරැණි ඔවුන්ගේ එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ දී ඕස්ට්‍රේලියාවට එවැනි අභියෝගයක් ලද පස්වැනි අවස්ථාව මෙයයි.
ගාල්ලේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී ද දැඩි දග කැවීමක් සහිත තණතීරු ලැබීමට නියමිත අතර, ඒ අනුව වෝනර් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ උපක්‍රම තම කණ්ඩායමේ වාසියට පරිවර්තනය වී ඇති බවයි.
“අපි සැමවිටම බලාපොරොත්තුවෙන්නේ දග කැවෙන තණතීරු. මේක සූදානම් වීමට (ටෙස්ට් තරගාවලියට) ලද නියම අවස්ථාවක්. මේක හොද පුහුණුවක් ටෙස්ට් තරගාවලියට යන්න.” යනුවෙන් 35 හැවිරිදි වෝනර් සදහන් කළා.
සිය 19 වැනි එක්දින ශතකයට එක් ලකුණක් පිටුපසින් සිටිය දී ඩේවිඩ් වෝනර් ඊයේ තරගයේ දී ස්ටප්ම් කිරීමකට හසු වීමෙන් දැවී ගියා.
“ඇත්තටම අපි කැමතියි ඔවුන් එකම තණතීරුවේ යළි යළිත් ක්‍රීඩා කිරීම ගැන. ඒක තමයි අපිටත් අවශ්‍ය. අපිට ඒ පුහුණුව ගන්න බැහැ පුහුණු දැල් තුළ දී.”
ඊයේ තරගයට ක්‍රීඩා කළ වෝනර්, මර්නස් ලබුෂේන්, ට්‍රැවිස් හෙඩ් හා කැමරන් ග්‍රීන් යන පිතිකරුවන් ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කරනු ඇති.
එක්දින තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ස්ටීවන් ස්මිත් ද ටෙස්ට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන බව නොරහසක්.
“මේක දග කැවීමේ ඉහළම තැන. ඔබ වැඩිය දකින්නේ නැහැ මේ ආකාරයේ තණතීරු. ඔබ ඒවා දකින්නේ මෙහිදි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙ තියෙනවා ඇත්තටම හොද තණතීරු. එහෙ පන්දුව දග කැවෙනවා තෙවැනි දිනයේ දී හා සිව්වැනි දිනයේ දී.”
“මට මතකයි ඩකාවල ක්‍රීඩා කළා, ඒක මම ක්‍රීඩා කරපු නරකම තණතීරුවලින් එකක්, නමුත්, මම ශතකයක් වාර්තා කළා.”
“එය කැපවීමයි, එය අවධානය යොමු කිරීමයි, ඒ වගේම වැඩි වේලාවක් පිතිකරණයේ නිරතවීමයි වැදගත්.”
“ඉන්දීය උප මහද්වීපයේ දී එක සුළු වැරැදීමක් ඔබට දැඩිව බලපානවා.”
“ඒක ගොඩක් අමාරු වෙනවා. විශේෂයෙන්ම උෂ්ණත්වයත් සමග. නමුත් අපි ඒකට සූදානමින් ඉන්නේ.”