වසර 30ක ඉතිහාසය වෙනස් කරන්න ශ්‍රී ලංකාව අද තරග බිමට
Match Preview

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (21) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටින බැවින් මෙම තරගයෙන් ද ශ්‍රී ලංකාව ජය ගතහොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වනවා.
එසේ වුවහොත් එය ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 30කට පසුව මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නා පළමු අවස්ථාව ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම 2010 වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජය කිරීමට සමත් වූ නමුත්, අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේ දී ඔස්ට්‍රේලියානු පිල එක්දින තරගාවලියකින් පරාජය කිරීමට සමත්ව ඇත්තේ 1992 වසරේ දී යි.
කණ්ඩායම් දෙකටම ක්‍රීඩකයින්ගේ ආබාධවලින් මේ වන විට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.
දෙවැනි එක්දින තරගයේ දී පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ධනුෂ්ක ගුණතිලකට සිව්වැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ වැඩි ඉඩක් ඇති බව සදහන්.
ඔහු තරගයට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ද මුහුණ දීමට නියමිතව තිබෙනවා.
පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ වනිදු හසරංග මේ වන විට බොහෝ දුරට සුවය ලබා ඇතත්, ඔහුව තවදුරටත් විවේක ගැන්වීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගනු ඇති.
මේ අතර, තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයග්රහනයක් රැගෙන ඒම සදහා පිත්තෙන් සුවිශේෂී ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස්ටද ගැටලුවකින් තොරව සිව්වැනි එක්දින තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාම පිතිකරණයේ නිරතව සිටියදී යම් ආබාධ තත්ත්වයන්ට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට ලකුණු 87ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.
මේ අතර, දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් මෙන්ම ආබාධයකට ලක්ව සිටි මිචෙල් ස්ටක් මෙම තරගයේ ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.