දිල්ලි අත්වැරැදීම් හේතුවෙන් ජය ලැබූ මුම්බායි පිලේ පිහිටෙන් RCB අවසන් වටයට සුදුසුකම් ලබයි
Match Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අද(21) අහිමි වුණා.
ඒ, මෙවර තරග වාරයේ 69 වැනි තරගයෙන් ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වීම හේතුවෙන්.
ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට පත් වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමට අවස්ථාව හිමි වුණා.
අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා.
ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 31ක් තුළ බිද වැටුණා. ඩේවිඩ් වෝනර් ලකුණු 5කටත්, මිචෙල් මාෂ් පළමු පන්දුවෙන් ලකුණු නොලබාත්, ප්‍රිත්වි ෂෝ ලකුණු 24කටත් දැවී ගියා. සර්ෆරාස් ඛාන් ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.
නායක රිෂාබ් පාන්ට් පන්දු 33කින් ලකුණු 39ක් ලබා ගනිමින් කැපිටල්ස් ඉනිම ස්ථාවර කළා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 159ක් දක්වා රැගෙන යාමට දායකත්වය දැක් වූ රොව්මන් පවෙල් පන්දු 34කින් ලකුණු 43ක් වාර්තා කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින්.
පවෙල් හා පාන්ට් අතර පස්වැනි කඩුල්ල සදහා පන්දු 44කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 75ක්. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 19(10)යි.
පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට රෝහිට් ෂර්මාට හා ඉෂාන් කිෂන්ට හැකි වූයේ නැහැ. පවර් ප්ලේ අවස්ථාව හෙවත් පළමු පන්දුවාර 6 නිමා වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් පමණයි.
ෂර්මා පන්දු 13කින් ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා කිෂන් හා ඩිවෝල්ඩ් බ්‍රේවිස් පන්දු 37කින් ලකුණු 51ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.
ඉෂාන් කිෂන් ලකුණු 48(35)කට දැවී ගියා. බ්‍රේවිස් ලකුණු 37(33)යි. මුම්බායි කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවශ්‍ය මග පෑදූ ටිම් ඩේවිඩ් පන්දු 11ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 34ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඩේවිඩ් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට දිල්ලි කණ්ඩායමට අවස්ථාවක් උදා වූ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වුණා.
ශර්දුල් තාකූර් යොමු කළ අදාළ පන්දුව ටිම් ඩේවිඩ්ගේ පිත්තේ යන්තමින් වැදී කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් ලෙස ඇදී ගියා. කෙසේ වෙතත්, විනිසුරු විසින් එය දැවී යාමක් නොවන බව තීරණය කළ අතර, දිල්ලි කණ්ඩායම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද එම අවස්ථාවේ යොදා නොගැනීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ කරුණක්.
තිලක් වර්මා ලකුණු 21 ක් රැස් කළා. රමන්දීප් සිං නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහනය තහවුරු කළා.
පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 32කට කඩුලු 2ක් බිද හෙලුවා.
මෙම තරගයේ දී දිල්ලි ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීම ද තරගයේ තීරණයට බලපානු ලැබුවා.