Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලකුණු 29ක් පිටුපසින්

Day 4 Report

මුෂ්ෆිකර් රහීම් වාර්තා කළ සිය 8 වැනි ටෙස්ට් ශතකය හා කසුන් රාජිත දවා ගත් කඩුලු 4 හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොං හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(18) නිමා වුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රි ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 18යි. ඕෂද ප්‍රනාන්දු ලකුණු 19කට දුවද්දී දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2කට දවා ගැනීමට ටයිජුල් ඉස්ලාම් සමත් වුණා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 465ක්.

වර්ෂාව හේතුවෙන් අද දිනය සදහා තරගය ආරම්භ කෙරුණේ පැය භාගයක ප්‍රමාදයකින් පසුවයි. දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ. එම කාලය තුළ බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 67 ක් රැස් කළා.

කෙසේ වෙතත්, දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.

කසුන් රාජිත යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුවට දැවී ගියේ ලකුණු 88ක් ලබා සිටි ලිටොන් දාස්. අනතුරුව ලකුණු 133ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත් වූ ටමිම් ඉක්බාල් පිටියට පිවිසි නමුත්, දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු දෙවැනි පන්දුවෙන් ඔහු ද දැවී ගියා.

නමුත්, බංග්ලාදේශය තවදුරටත් ශක්තිමත් කළ මුෂ්ෆිකර් රහීම් ලකුණු 105 ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත්. රහීම් අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 5,000 සීමාව පසු කර යාම ද විශේෂත්වයක්. එම කඩඉම පසු කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

ශකිබ් අල් හසාන් ලකුණු 26කට දැවී ගියා. ඉනිම ආරම්භ කළ මහ්මුදුල් හසාන් ජෝයි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58ක්. බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී ගොස් තිබියදී පිතිකරණයේ නිරත වෙමින් සිටි ශොරිෆුල් ඉස්ලාම් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමත් සමගයි ඔවුන්ගේ ඉනිම අවසන් වුණේ.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා. ලසිත් ඇඹුල්දෙණිය හා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199න් ශක්තිමත් වෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට සිය දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.

මේ අතර, මෙම ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි Richard Kettleborough අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් ක්‍රීඩාංගණයෙන් ඉවත් වුණා.

ඒ අනුව ඔහු වෙනුවට තෙවැනි විනිසුරු Joel Wilson පිටියේ විනිසුරුවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරන අතර, මෙම තරගයට නම් කළ සිව් වැනි විනිසුරුවරයා මේ වන විට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනවා.