Ultimate magazine theme for WordPress.

ටේලර්ට වසර තුනහමාරක ක්‍රිකට් තහනමක් පනවයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) යටතේ එල්ල වූ චෝදනා 4ක් හා තහනම් උත්තේජක නීතියක් උල්ලංඝනය කළ බවට ඔහු විසින් පිළිගැනීමත් සමගයි.

35 හැවිරිදි බ්‍රෙන්ඩන් ටේලර් 2004 වසරේ සිට 2021 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 284 කට ක්‍රීඩා කළා.

එහිදී ඔහු ලකුණු 9,938 ක් රැස් කළේ ශතක 17ක් සමගින්.

අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය යටතේ එල්ල වූ චෝදනාවලට අමතරව බ්‍රෙන්ඩන් ටේලර් Benzoylecognine නම් වූ තහනම් උත්තේජකය ලබා ගත් බවට ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු කෙරුණු පරීක්ෂණයකින් අනාවරණය වී තිබූ බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඒ අනුව එම වරදට මාසයක ක්‍රිකට් තහනමක් පනවා ඇතත්, එය අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය යටතේ පැනවූ වසර තුනහමාරක ක්‍රිකට් තහනමට සමගාමීව ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව බ්‍රෙන්ඩන් ටේලර්ට 2025 වසරේ ජූලි 28 වනදා සිට යළි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි බවත් අයි.සී.සීය සදහන් කළා.

තරග පාවාදීම (spot fix) සදහා තමන්ට කෙරුණු යෝජනාවක් සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට නිසි කාලයේ දී දැනුම් දීමට තමා අපොහොසත් වූ බව පසුගියදා සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කරමින් බ්‍රෙන්ඩන් ටේලර් විසින් පිළිගත්තා.

එම වරද හේතුවෙන් තමාට අයි.සී.සීයෙන් වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවයි බ්‍රෙන්ඩන් ටේලර් සිය නිවේදනයේ සදහන් කර තිබුණේ.

ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් තමාට තරග පාවාදීම සදහා වන යෝජනාව ඉදිරිපත් කළ බව ඔහු අනාවරණය කළා.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී එම ව්‍යාපාරිකයා හා ටේලර් අතර හමුවක් සිදුව තිබුණේ අනුග්‍රාහකත්වය ලබා දීම හා සිම්බාබ්වේ දේශය තුළ 20යි 20 තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙසට බ්‍රෙන්ඩන් ටේලර්ට ලද ආරාධනාවකට අනුවයි.

එම සාකච්ඡාව අතරතුර දී ඔහුට මත්ද්‍රව්‍යයක් පානය කිරීමට ලබා දී ඇති අතර, මත්ද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය රහසිගතව වීඩියෝ ගත කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයා කටයුතු කර තිබුණා.

පසුව එම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කරන බව පවසමින් තරග පාවා දීම සදහා තමාට තර්ජනය කල බවයි බ්‍රෙන්ඩන් ටේලර්ට කියා සිටියේ.

තරග පාවාදීම සදහා තමාට අදාළ ව්‍යාපාරිකයාගෙන් අමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් ද ලද නමුත්, කිසිවිටක තරග පාවා දීමට කටයුතු නොකළ බව ඔහු පෙන්වා දුන්නා.

පවුලේ ආරක්ෂාව පිළිබද සලකා බලා, ඉන්දියාවේ දී සිදු වූ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ප්‍රමාද කිරීමට තමාට සිදු වූ බවයි සිම්බාබ්වේ හිටපු නායකයා සදහන් කළේ.

මාස 4කට පමණ පසුව තමා ඒ පිළිබද අයි.සී.සීයට දැනුම් දුන් බව ඔහු සිය නිවේදනයේ සදහන් කර තිබුණා.

Leave a comment