ශ්‍රී ලංකාවට දෙවැනි තරගයෙනුත් පහසු ජයක්
Match Report

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(26) සමත් වුණා.
නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහී දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ ලකුණු 60කින්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.
ඒ, චමිදු වික්‍රමසිංහ හා සධීෂ රාජපක්ෂ වාර්තා කළ ශතකවලින් සවිමත් වෙමින්.
චමිදු ලකුණු 111ක් ද , සධීෂ ලකුණු 131ක් ද රැස් කළ අතර, නායක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 34යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 47.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 262ක් පමණයි.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ හා රවීන් ද සිල්වා කඩුලු 3 බැගින් බිද හෙලුවා.
මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කුවේට් කණ්ඩායමට එරෙහිවයි.
මූලික වටයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 28 වනදා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ඊයේ පැවැති තරගවලින් ඉන්දියාව පරදා පාකිස්තානය ද, කුවේට් කණ්ඩායම පරදා බංග්ලාදේශය ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා ඇෆ්ඝනිස්තානය ද ජයග්රහන වාර්තා කළා.