Ultimate magazine theme for WordPress.

නවසීලන්තය පරදා ඔස්ට්‍රේලියාව පළමු වරට T 20 ලෝක ශූරයින් වෙයි

Match Report

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් වුණා.

ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවැති මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

  • නවසීලන්තය 172/4 (20)

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් පළමු වරට ලෝක 20යි 20 ශූරයින් වීම සදහා ඔස්ට්‍රේලියාවට ලබා දුන් ඉලක්කය ලකුණු 173ක්.

නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලබා ගත් 172ක ලකුණු සංඛ්‍යාව 20යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 28කට සීමා වුණේ ඩැරල් මිචෙල් ලකුණු 11කට දැවී යාමත් සමගයි.

නවසීලන්ත ඉනිම පන්දුවාර 10 ක් අවසානයේ දී සටහන් වුණේ එක් කඩුල්ලකට ලකුණු 57ක් ලෙසයි. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින මාර්ටින් ගප්ටිල් මෙම තරගයේ දී ලකුණු 28ක් වාර්තා කළේ පන්දු 35ක් වැය කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව නායක කේන් විලියම්සන් සුපිරි ඉනිමක් දියත් කරමින් නවසීලන්තය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අවශ්‍ය පදනම සකස් කළා.

ඔහු පන්දු 48කින් ලකුණු 85 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 10කින් සිය සුපිරි ඉනිම වර්ණවත් කරමින්.

ග්ලේන් පිලිප්ස් ලකුණු 18ක් ද, ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 13ක් ද වාර්තා කළා.

නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ දී වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 115ක්.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී මිචෙල් ස්ටක් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහුගේ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් රැස් කළ ලකුණු සංඛ්‍යාන 60ක්.

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජොෂ් හේසල්වුඩ් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා. ඇඩම් සම්පා ලකුණු 26කට බිද හෙලූ කඩුලු ගණන එකක්.

  • ඔස්ට්‍රේලියාව 173/2 (18.5)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යමින් පළමු වරට ලෝක ශූරයින් වූයේ නවසීලන්තයට පළමු වරට එම ශූරතාවයේ පහස විද ගැනීමේ අවස්ථාව අහිමි කරමින්.

මෙම ඉනිමේ දී ද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට අසමත් වූ නායක ආරොන් ෆින්ච් ලකුණු 5කට දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

අනතුරුව ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් අතර දෙවැනි කඩුල්ල සදහා පන්දු 59කින් ලකුණු 92ක සබදතාවයක් ගොඩ නැගුණා.

වෝනර් පන්දු 38කින් ලකුණු 53ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්.

ඔවුන් දෙදෙනා ගොඩ නගමින් තිබූ එම තර්ජනාත්මක සබදතාවය ද බිද දැමුවේ ට්‍රෙන්ට් බෝල්ට් විසින්. ඒ, වෝනර්ගේ කඩුල්ල දවා ගනිමින්.

20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයක දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව (පන්දු 31කින්) සිය නම ඉදිරියේ සටහන් කර ගත් මිචෙල් මාෂ් පන්දු 50කින් නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ලෝක 20යි 20 ශූරතාවය කරා රැගෙන ගියා.

හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඔහුගේ විශිෂ්ඨ ඉනිමට ඇතුළත්. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 28යි.

අවසන් මහා තරගයේ වීරයා ලෙස මිචෙල් මාෂ් ද, තරගාවලියේ වීරයා ලෙස ද ඩේවිඩ් වෝනර් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment