Ultimate magazine theme for WordPress.

“සියළුම දක්ෂතාවයන් ගැන අපට සතුටු වෙන්න බැහැ” : භානුක

Post Match Press Conference

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරඟවලදී “පින්න” විශාල බලපෑමක් සිදු කරනු ඇති බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

නැමීබියාව සමඟ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ පින්නෙන් සිදුවන බලපෑම පදනම් කර ගෙන බවයි භානුක පෙන්වා දුන්නේ.

ඕමානයට එරෙහිව ඕමානයේ දී පැවති පුහුණු තරගවලට පින්නෙන් දැඩි බලපෑමක් එල්ල වූ බවත්, දෙවනුව පන්දු යවන කණ්ඩායමට නිසි පරිදි පන්දු යැවීමට පින්න හේතුවෙන් නොහැකි වූ බවත් ඔහු කියා සිටියා.

“අපි දැනගත්තා එම තත්ත්වයන් අබුඩාබිවලත් සමාන වෙයි කියලා”

යනුවෙන් භානුක රාජපක්ෂ සදහන් කළා.

“ඉදිරියට යනකොට කාසියේ වාසිය වැදගත් වෙයි. නමුත් අපිට හැමවිටම ඒ මත විශ්වාසය තැබිය නොහැකියි. අපිට පුහුණුවීම්වලදී තෙත පන්දුවෙන් පුහුණුවීම් කරන්න අවශ්‍ය වෙනවා. ඒක අපිට අභියෝගයක් විය හැකි නමුත් ක්‍රීඩකයින් ඒකට සූදානම්.”

20යි 20 තරග රටාවේ හිටපු ලෝක ශූරයින් වන ශ්‍රී ලංකාව මෙම තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළේ සියලු පන්දු යවන්නන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් මත පදනම්වයි.

වේග පන්දු යවන්නන් තිදෙනා වූ චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර හා ළහිරු කුමාර මෙම තරගයේදී පන්දුවාර 11.3ක් යවා ලකුණු 45කට කඩුලු 4ක් දවාගත්තා.

දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ කඩුලු 5 ක් දවා ගත්තේ නැමීබියාවට දැඩි අභියෝගයක් එල්ල කරමින්.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුණා.

පවර් ප්ලේ අවස්ථාව තුළදී ම ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් තිදෙනා නරඹන්නන් බවට පත් වුණේ ලකුණු 26ක්ව තිබියදීයි.

කෙසේ වෙතත් අනතුරුව 4 වන කඩුල්ල සඳහා පන්දු පනහකින් නොබිඳුණු ලකුණු 74ක සුවිශේෂී සබඳතාවක් ගොඩනැගීමට රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණේ ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කය කරා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.3ක් තුළ රැගෙන යමින්.

සියළුම දක්ෂතාවයන් ගැන අපට සතුටු වෙන්න බැහැ. මොකද අප දියුණු කළ යුතු අංශ බොහෝමයක් තියෙනවා. නමුත් ප්‍රධාන පන්දු යවන්නන්ගේ දස්කම් ගැන අපට සතුටු විය හැකියි. මොකද ඔවුන් අපට පදනම සකසා දුන්නා. ඒ නිසා පිතිකරුවන්ට වඩාත් පහසු වුණා.

යනුවෙන් මෙම තරගයේ දී නොදැවී ලකුණු 42ක් පන්දු 27කින් වාර්තා කළ භානුක රාජපක්ෂ කියා සිටියා.

“අපි පවර්ප්ලේ අවස්ථාවේ දී කඩුලු බිද නොවැටී ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඉදිරියට යන විට අපි ක්‍රීඩා කළ තරගවල සිදු වූ වැරැදි නිවැරැදි කර ගන්න උත්හාස කරනවා. එය මුලපෙල පිතිකරුවන්ට හොද දිනයක් වුණේ නැහැ. නමුත් එය අපි ධනාත්මක ආකාරයෙන් අරගෙන ඉදිරියට යනවිට නිවැරැදි දේ කරනවා.”

Leave a comment