Ultimate magazine theme for WordPress.

තෙවැනි වරට කොල්කටා ද? සිව්වැනි වරටත් චෙන්නායි ද? තීරණය අද

Match Preview

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(15) පැවැත්වෙනවා.

තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

කොල්කටා කණ්ඩායම මෙම තරගය සදහා මුහුණ දෙන්නේ ඉතිහාසයේ තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමේ අරමුණින්.

ඔවුන් මීට පෙර 2012 හා 2014 වසරවලදී අයි.පී.එල් ශූරතාවය දිනා ගත්තා. ඒ, පිළිවෙලින් චෙන්නායි හා කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායම් (පංජාබ් කිංග්ස්) පරාජයට පත් කරමින්.

මෙවර තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදුවන විට කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටියේ 7 වන ස්ථානයේ යි. ඒ, තරග 7කදී ජයග්‍රහන 2ක් පමණක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, පසුගිය 19 වනදා තරගාවලිය යළි ආරම්භ වීමෙන් අනතුරුව ඔවුන් ධනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් මූලික වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමි කර ගනිමින්.

අවසන් වටයේ(Playoffs) දෙවැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කළ ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් නයිට් රයිඩර්ස් පිල අවසන් වටයේ තෙවැනි තරගයේ දී මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කළා.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පී.එල් ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවා. ඒ, 2010, 2011 හා 2018 යන වසරවලදීයි.

ශූරතාවයට අමතරව සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 5කදී අනුශූරතාවය ද දිනා තිබීම විශේෂත්වයක්.

ඔවුන් මෙවර තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටි අතර, මූලික වටය අවසන් කළේ ද දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින්.

අවසන් වටයේ පළමු තරගයෙන් දිල්ලි කණ්ඩායම පරාජයට පත් කරමින් ඔවුන් අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගත්තා.

අද තරගය සදහා ද කොල්කටා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට ක්‍රීඩා කිරීමට අවසර (බංග්ලාදේශයෙන්) ලැබී තිබෙනවා.

ඒ, අද තරගය අවසන් වීමෙන් පැය 48කටත් අඩු කාලයකදී බංග්ලාදේශ කණ්ඩායම මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට නියමිතව ඇති පසුබිමකයි.

කොල්කටා කණ්ඩායමට සිය අවසන් කණ්ඩායම තේරීමේ දී සලකා බැලීමට ඇති එකම ස්ථානය වන්නේ ද ශකිබ්ගේ ස්ථානයයි. ඔහු වෙනුවට ඇන්ඩ්‍රි රසල් (ශාරිරික යෝග්‍යතාවය යහපත්නම්) යොදා ගන්නේ ද යන්න පිළිබද ඔවුන් සලකා බැලීමට ඉඩ ඇතත්, බොහෝ විට කොල්කටා පිල කිසිදු වෙනස්කමකින් තොරව අද තරගයට ද ක්‍රීඩා කරනු ඇති.

චෙන්නායි කණ්ඩායමේ ද වෙනස්කමක් අද දිනයේ දී අපේක්ෂා නොකරන අතර, ඒ අනුව සුරේෂ් රයිනාට අද තරගය ද අහිමි වීමට ඉඩ තිබෙනවා.

අවසන් තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් දෙක –

Kolkata Knight Riders: Venkatesh Iyer, Shubman Gill, Nitish Rana, Rahul Tripathi, Eoin Morgan (c), Dinesh Karthik (wk), Shakib Al Hasan, Sunil Narine, Shivam Mavi, Varun Chakravarthy, Lockie Ferguson

Chennai Super Kings: Ruturaj Gaikwad, Faf du Plessis, Moeen Ali, Robin Uthappa, Ambati Rayudu, Ravindra Jadeja, MS Dhoni (c, wk), Dwayne Bravo, Shardul Thakur, Deepak Chahar, Josh Hazlewood

Leave a comment