Ultimate magazine theme for WordPress.

රට ද? මුදල් ද? දකුණු අප්‍රිකානු ප්‍රබලයින් 5ක් එක්දින තරගාවලිය මැද ඉන්දියාවට යයි

ක්වෙන්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩී, කාගිසෝ රබාඩා සහ අන්රිච් නොකියා යන ප්‍රබල ක්‍රීඩකයින් නොමැතිව සීමිත පන්දුවාර තරග සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමක් නම් කළ හැකිද?

සැබවින්ම පුලුවන්. නමුත් එවැනි කණ්ඩායමකට පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළ හැකි වේවිද?

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ ඉහත සදහන් ප්‍රබල ක්‍රීඩකයින් නොමැතිවයි.

ඒ, එම ක්‍රීඩකයින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් ඉන්දියාව වෙත පිටත්ව යන බැවින්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙක සදහා එම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූ අතර, මේ වන විට එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තෙවැනි එක්දින තරගයෙන් ජය ගන්නා කණ්ඩායමටයි තරගාවලියේ ශූරතාවය හිමි වන්නේ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක වුවද, ප්‍රබල දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 5 දෙනෙකුම අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට මේ වන විට සිදුව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ද මෙම ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග 5ක් සදහා ක්‍රීඩා නොකර වෙනත් රටක දේශීය තරගාවලියක් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සිය ක්‍රීඩකයින්ට අවසර ලබා දීම කොපමණ දුරට සාධාරණද?

දකුණු අප්‍රිකාව පමණක් නොව අයි.පී.එල් තරගාවලිය හේතුවෙන් තවත් රටවල් රැසක් ද මෙම වසරේ දී මෙන්ම වෙනත් වසරවලදී ද මෙවැනි තීන්දු තීරණ ගත් අයුරු අපට මතකය.

මින් අදහස් වන්නේ රටට ක්‍රීඩා කිරීමට වඩා මුදල් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වත්මන් ක්‍රීඩකයින් වඩාත් පෙළඹී ඇති බවද?

බොහෝ ක්‍රිකට් ආයතන ද ඒ සදහා සිය ක්‍රීඩකයින්ට අවසර ලබා දෙන්නේ ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍ය හමුවේ ඔවුන් ද අසරණ වී ඇති බැවින්ද?

එම ගැටලු එලෙස පවතින විට මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වෙනත් රටවල් සිය ක්‍රීඩකයින් වැඩි වශයෙන් යොදා ගැනීමට අවස්ථාව සලසා දීමට තවත් හේතුවක් පවතිනවා.

එනම්, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබීමයි.

ඒ අනුව ඒ සදහා සිය ක්‍රීඩකයින් හොදින් සූදානම් කර ගැනීමට ද මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනත් රටවලට ද ආශිර්වාදයක් වී ඇති බව නොරහසක්.

Leave a comment