Ultimate magazine theme for WordPress.

LPL මුදල් ගැන ක්‍රිකට් ආයතනය කරුණු පහදයි

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියෙහි සංවිධාන කටයුතු සිදු කරන ලද ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදු කළ යුතු ගෙවීම් පැහැර හැර ඇති බව සදහන් කරමින් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිළි කිරීමක් සිදු කළා.

2020 වසරේ සිට 2024 වසර දක්වා වූ වසර 5 ක කාලය තුළ LPL තරගාවලියේ සංවිධාන කටයුතු IPG ආයතනය වෙත ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුවයි

එම ගිවිසුම්ගත වීමේදී පළමු වසර සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 1.925 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට එම ආයතනය බැඳී සිටිනවා.

ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී ගත වූ 2020 වර්ෂය සඳහා ගෙවිය යුතු අයිතිවාසිකම් ගාස්තුවෙන් ඩොලර් එක් ලක්ෂ පනස්දහසක මුදලක් IPG ආයතනය විසින් ලංසු ඇපයක් ලෙසින් ගෙවා ඇති බව සදහන්.

එම මුදලට අමතරව ඇමරිකානු ඩොලර් අටලක්ෂ පනස් දහසක මුදලක් ද මේ වන විට අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබෙනවා.

ඒ අනුව IPG ආයතනය විසින් ගෙවා ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියනයක්.

තරගාවලිය පැවැති කාලයේ දී අනපේක්ෂිතව යළි කොවිඩ්-19 වසංගත රැල්ලක් ඇතිවීම හමුවේ සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් ගුවන් ගමන්, නීරෝධායන නීති ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය යන කරුණු වෙනුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව අනුග්‍රාහකයින් සොයා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැතිවීමත්, ප්‍රවේශ පත්‍රවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම අහිමිවීමත් ආදී අවිනිශ්චිතතා සඳහන් කරමින් තමන්ට සහනයක් සලසා දෙන ලෙස IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබූ බව සදහන්.

අදාළ ඉල්ලීම සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව, අයිතිවාසිකම් ගාස්තු යටතේ ගෙවීමට නියමිතව ඇති ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවා දැමීම සඳහා IPG ආයතනයට අවසර ලබා දුන් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, ලබන 2023 වසර දක්වා වන කාල සීමාවේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවල දී රූපවාහිනී නිෂ්පාදන සේවා සැපයීම සඳහා වූ ගිවිසුමකට IPG ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතවී සිටිනවා.

එහි සමස්ථ නිෂ්පාදන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක්.

එම ගිවිසුමට අනුව යමින් නිෂ්පාදන වියදම වෙනුවෙන් IPG ආයතනය වෙත ලබා දිය යුතු මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක මුදලක්, LPL තරගාවලියෙන් ලැබීමට නියමිත මුදල්වලින් හිලව් කරදැමීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව LPL තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීමේදී 2020 වසරට අදාළව ලැබිය යුතු මුළු මුදල ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ විසි පන්දහසක්.

එම මුදල ඉදිරි 2021 වසරේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය ආරම්භ වීමට පෙර පොලී මුදල් සමඟම අයකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) )

Leave a comment