Ultimate magazine theme for WordPress.

ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නාට IPL හා T20 ලෝක කුසලානය අහිමි වෙයි

2023 ලෝක කුසලාන තරගාවලිය ද ඔහු ක්‍රීඩා කළේ මෙම පාදයේ ආබාධය සහිතව වීම කැපී පෙනෙනවා. ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි එන්නත් ලබා ගනිමිනුයි ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළේ.

පාදයක ආබාධයකට ලක්ව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර දී ඔහු මෙම ශල්‍යකර්මයට මුහුණ දී ඇති බව සදහන්.

ශල්‍යකර්මයෙන් පසුව ලබා ගත් ඡායාරූපයක් ද සමග ඔහු මෙම තොරතුරු අනාවරණය කළේ සිය සමාජ මාධ්‍ය පිටු වෙතට සටහනක් එක් කරමින්.

මෙම ශල්‍යකර්මය නිසා ෂාමිට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති. අයි.පී.එල් තරගාවලිය මාර්තු 22 වැනිදා සිට මැයි 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත 2024 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඔහුට අහිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ.

නිමා වූ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මොහමඩ් ෂාමි මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ. ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකදී ඔහු දවා ගත් කඩුලු ගණන 24 ක්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ ද ඔහුයි.

කෙසේ වෙතත්, එම ලෝක කුසලාන තරගාවලිය ද ඔහු ක්‍රීඩා කළේ මෙම පාදයේ ආබාධය සහිතව වීම කැපී පෙනෙනවා. ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි එන්නත් ලබා ගනිමිනුයි ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළේ.

ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීම ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට දැඩි පාඩුවක් වනු නොඅනුමානයි. 2023 අදියරේ දී තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත්තේ ද ඔහුයි.

ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ හිටපු නායකයා වන හර්ඩික් පාන්ඩ්යා ද නොමැතිවයි. ඒ, පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීම හේතුවෙන්.