Ultimate magazine theme for WordPress.

IPL 2025 : කණ්ඩායමකට රදවා ගත හැකි ක්‍රීඩකයින් ගණන නිවේදනය කෙරේ

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6 දෙනෙකු සිය සංචිතයේ රදවා ගත හැකි බව තරගාවලියේ සංවිධායකයින් අද(28) නිවේදනය කළා.

එම ක්‍රීඩකයින් අතරට අවම වශයෙන් මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එක් ඉන්දීය ක්‍රීඩකයෙකු (උපරිමය ක්‍රීඩකයින් දෙදෙනෙක්) ද ඇතුළත් විය යුතු අතර, රදවා ගන්නා සෙසු ක්‍රීඩකයින් ඉන්දීය හෝ විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැකියි.

මෙම ක්‍රීඩකයින් හය දෙනා සෘජුවම රදවා ගනිමින් හෝ RTM (Right to Match) ක්‍රමවේදය එනම්, සිය සංචිතයේ පසුගිය වසරේ දී රැදී සිටි ක්‍රීඩකයෙකුට වෙන්දේසියේ දී වෙනත් කණ්ඩායමකින් හිමි වන ඉහළම ලංසු මුදල ගෙවා යළි තම කණ්ඩායමට මිලදී ගැනීමට ලැබෙන ක්‍රමවේදය යටතේ ලබා ගත හැකියි.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට මෙවර වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 120 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 427) මුදලක් වියදම් කළ හැකියි. එය පසුගිය වසරට වඩා ඉන්දීය රුපියල් කෝටි 20 ක ඉහළ යාමක්.

එක් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයින් 5 දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට තීරණය කළහොත්, පළමු රදවා ගැනීම් 3 සදහා – ඉන්දීය රුපියල් කෝටි 18, කෝටි 14 හා කෝටි 11 ක් වශයෙන් ද, ඉතිරි රදවා ගැනීම් දෙක සදහා – කෝටි 18 ක් හා කෝටි 14 ක් වශයෙන් ද වෙන් කිරීමට සිදු වනවා. ඒ අනුව වෙන්දේසියට පෙර කණ්ඩායමක් ක්‍රීඩකයින් 5 දෙනෙකු රදවා ගතහොත් ඔවුන් වෙන්දේසියට පැමිණෙන්නේ කෝටි 120 න් කෝටි 75 ක් වියදම් කර අවසන් කර ගනිමිනුයි.

ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයෙකු වෙනුවෙන් ද රුපියල් කෝටි 4 ක මුදලක් වෙන් කිරීමට සිදු වනු ඇති. ඒ අනුව ක්‍රීඩකයින් 6 දෙනාම වෙනුවෙන් කෝටි 79 ක් වියදම් කිරීමෙන් පසුව එක් කණ්ඩායමකට වෙන්දේසියට ඉදිරිපත් වීමට සිදු වන්නේ කෝටි 41 ක මුදලක් සහිතවයි.

මේ අතර, Impact Player නීතිය තවදුරටත් අයි.පී.එල් තරගාවලියට යොදා ගැනීමට ද තීරණය කර තිබෙනවා.