Ultimate magazine theme for WordPress.

කඩුලු 7 ක ජයකින් ඇෆ්ඝනිස්තානය සුපිරි අටට – නවසීලන්තය පළමු වටයෙන්ම ඉවතට

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් පැපුවා නිව් ගිනියාව පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින් සුපිරි අට වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) පෙරවරුවේ සමත් වුණා.

ඒ අනුව C කාණ්ඩයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සුපිරි අට වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ගෙන ඇති අතර, නවසීලන්තය, පැපුවා නිව් ගිනියාව හා උගන්ඩාවට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ දී පැවැති තරගාවලියේ 29 වැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 15.1 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ගුල්බදීන් නයිබ් පන්දු 36 කින් නොදැවී ලකුණු 49 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11 කටත්, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු නොලබාත් දැවී ගියා. අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 13 යි. මොහමඩ් නබී නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පැපුව් නිව් ගිනියාව වෙනුවෙන් Kiplin Doriga ලකුණු 27 ක්, Alei Nao ලකුණු 13 ක් හා Tony Ura ලකුණු 11 ක් රැස් කළා.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ ෆසල්හක් ෆරූකි ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා. නවීන් උල් හක් පන්දුවාර 2.5 ක් තුළ කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 4 ක් ලබා දෙමින්.

[team_standings 59914]