ස්කොට්ලන්තයේ සුපිරි ආරම්භය වැස්සට සේදී යද්දී නේපාලය පරදා නෙදර්ලන්තයට ජය

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි හා 7 වැනි තරග මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රියේ පැවැත්වුණා.
ස්කොට්ලන්තය හා එංගලන්තය අතර 6 වැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, නේපාලය හා නෙදර්ලන්තය අතර තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ නෙදර්ලන්තයයි.
6 වැනි තරගය
එංගලන්තය – ස්කොට්ලන්තය අතර තරගය බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගයේ ආරම්භය ද වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, ස්කොට්ලන්ත ඉනිමේ 7 වැනි පන්දුවාරය අතරතුර දී (6.2) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට ස්කොට්ලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 51 ක් ලබා සිටියා.
අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට සිදු වූයේ එක් ඉනිමක් පන්දුවාර 10කට සීමා කරමින්. ස්කොට්ලන්තය පන්දුවාර 10 අවසන් කළේ කිිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 90 ක් රැස් කරමින්.
ජෝර්ජ් මන්සේ පන්දු 31 කින් ලකුණු 41 ක් නොදැවී රැස් කළ අතර, මයිකල් ජෝන්ස් නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තේ පන්දු 30 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් බැගින් ඔවුන්ගේ ඉනිම්වලට ඇතුළත් වුණා.
ස්කොට්ලන්තය ලකුණු 90 ක් ලබා ගත්ත ද, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එංගලන්තයට තරගය ජය ගැනීමට ලකුණු 109 ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේ වෙතත්, අනතුරුව තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් කෙරුණා.
7 වැනි තරගය
ඇමෙරිකාවේ ඩලස්හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 106 ක්.
නායක Rohit Paudel ලකුණු 35(37) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Tim Pringle හා Logan van Beek කඩුලු 3 බැගින් බිද හෙලුවා. Paul van Meekeren හා Bas de Leede අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Max O’Dowd පන්දු 48 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.