Ultimate magazine theme for WordPress.

නෙදර්ලන්තය පරදා බංග්ලාදේශය සුපිරි අටට පියවරකින් ළගා වෙයි

Match Report

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගනිමින් තරගාවලියේ 27 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(13) සමත් වුණා.

Kingstown හි Arnos Vale ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

ඔවුන් එක් අවස්ථාවක පන්දුවාර 14 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලකුණු 104 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ අතර, එම අවස්ථාවේ දී නෙදර්ලන්තයට තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබුණේ පන්දු 36 කින් ලකුණු 56 ක් පමණයි.

කෙසේ වෙතත්, 15 වැනි පන්දුවාරයේ දී රිෂාද් හොසේන් විසින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වීමත් සමග තරගයේ සම්පූර්ණ පාලනය බංග්ලාදේශයට නතු වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් Sybrand Engelbrecht ලකුණු 33(22) ක් රැස් කළ අතර, Vikramjit Singh ලකුණු 26(16) කට දැවී ගියා. නායක Scott Edwards ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 30 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ශකිබ් අල් හසාන් පන්දු 46 කින් ලකුණු 64 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 9ක් සමගින්.

ටන්සිඩ් හසාන් ලකුණු 35 ක් ලබා ගත් අතර, මහ්හුදුල්ලාහ් ලකුණු 25 කට දැවී ගියා. පන්දු යැවීමේ දී Aryan Dutt හා Paul van Meekeren කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද තරගය ප්‍රතිපලයක් සහිතව නිමා වීමත් සමග ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට ද සිදු වුණා. ශ්‍රී ලංකාවට තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් බංග්ලාදේශ – නෙදර්ලන්ත තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වීම අනිවාර්යය වී තිබුණා.

[team_standings 59915]