Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවූ ගැසට් නිවේදනය එළියට ; ඉදිරියේ දී මොකද වෙන්නේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ඊයේ (05) දින සිට අත්හිටුවනු ලැබූ බවට වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව තමා මෙම පියවර ගත් බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම ගැසට් නිවේදනය ඔස්සේ සදහන් කර ඇත්තේ.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදු කෙරුණු විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සිදු කරනු ලැබූ දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බැවින් සහ අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව සහ විශ්වාසනීය ලෙස ඉටුකිරීමට අවකාශ සලසා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවනු ලැබූ බව මෙම නිවේදනයේ සදහන්.

ක්‍රිකට් ආයතනයේ බලතල කාර්ය හා කර්තව්‍යය නිසි පරිදි සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 33 වන වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තුරු පවත්වාගෙන යාම සඳහා නොවැම්බර් 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අන්තර් පාලන මණ්ඩලය තමා විසින් පත් කළ බව ද ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

අතුරු කමිටු සාමාජිකයින් –

(1) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්
(2) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ
(3) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා
(4) අර්ජුන රණතුංග (සභාපති)
(5) එච්. කේ. උපාලි ධර්මදාස
(6) නීතිඥ රකිත නිර්මල රාජපක්ෂ
(7) එම්. එච්. ජමල්ඩීන්

“වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මහජනතාව තුළ විශ්වාසය කඩවී ඇති බව පෙනීයන හෙයින් සහ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපකීර්තියට පත්වීමට කරුණු යෙදී ඇති හෙයින් ද, ඊට ප්‍රතිකර්ම සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කරනු ලැබීමට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මා වෙත පැවරී ඇති වගකීම ඉටු කරලීම සඳහා ක්‍රීඩා නීතියට සහ මූලික නීති මූලධර්මයන්ට අනුව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යථෝක්ත අක්‍රමිකතා පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා මා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම ඉහත නම් සඳහන් සාමාජිකයින්ගෙන් අපේක්ෂා කෙරේ.” යනුවෙන් ගැසට් නිවේදනයේ සදහන්.

මෙම අන්තර්වාර පාලන මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සදහා ද බලතල පවරා දී තිබෙනවා.

1. විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2023.09.11 දිනැති විශේෂ විගණන වාර්තාවෙ හි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට
අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
2. අදාළ විමර්ශන කටයුතු සිදු කිරීම ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව විශ්වාසනීය ලෙස සිදුකරනු ලැබිය යුතු බැවින්, ඒ සඳහා අවකාශය ලබාදෙනු වස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම ක්‍රියාත්මකවන කාල පරිච්ඡේදය තුළ සහ අන්තර්වාර පාලන මණ්ඩලය විසින් සිදුකරන විමර්ෂණ කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ යථෝක්ත විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදු වීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ක්‍රියාමාර්ග සැකසීම.