ඇමෙරිකාව හමුවේ බංග්ලාදේශය T20 තරගාවලිය පරදියි – කොදෙව්වන්ටත් ලකුණු 28 ක ජයක්

ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට සිදු වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් ද ඇමෙරිකාව ලකුණු හයක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ද ඇමෙරිකාව කඩුලු පහක ජයක් හිමි කර ගත්තා.
Houston හි Prairie View Cricket Complex හී දී පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව කඩුලු හයක් දැවී ලකුණු 144 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණයි.
නායක නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 36 ක්, ශකිබ් අල් හසාන් ලකුණු 30 ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 25 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අලී ඛාන් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Saurabh Netravalkar හා Shadley van Schalkwyk කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව වෙනුවෙන් නායක මොනාක් පටෙල් ලකුණු 42(38) ක් රැස් කළ අතර, ආරෝන් ජෝන්ස් ලකුණු 35 ක් ලබා ගත්තා. ස්ටීවන් ටේලර් ලකුණු 31 යි. පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම්, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා රිෂාද් හොසේන් කඩුලු 2 බැගින් දවා ගත්තා.
දකුණු අප්‍රිකාවට ලකුණු 28 ක පරාජයක්
මේ අතර, සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.
නායක බ්‍රෙන්ඩන් කිංග් පන්දු 45 කින් ලකුණු 79 ක් ලබා ගත් අතර (හයේ පහර 6 ක් හා හතරේ පහර 6 ක් සමග), ක්යල් මේයර්ස් ලකුණු 34 ක් හා රොස්ටන් චේස් නොදැවී ලකුණු 32 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Ottneil Baartman හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.
රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 87(51) ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 6 බැගින් එල්ල කරමින්. පන්දු යැවීමේ දී මැතිව් ෆෝර්ඩ් හා ගුඩකේෂ් මෝති කඩුලු 3 බැගින් බිද හෙලුවා.